ශෂීන්ද්‍රට රාජ්‍ය ඇමතිකමක් දීලා මුට්ටිය දාලා බලන්නේ නාමල්ට අමාත්‍ය ධූරයක් දෙන්න

රට හයිටියක් කරන්න බලා සිටින පිරිසට වුවමනා රාජ්‍ය ඇමති දොළපිදේනි දීම’ වැනි ආණ්ඩුවේ වැරදි භාවිතාවන්ම තමයි. ඔවුන්ට අවශ්‍ය මතය හැදීමට ජනපති රනිල් අද වාතාවරණය සකසා දෙමින් සිටිනවා යනුවෙන් උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (09) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්තර ලංකා සභාගයේ ප්‍රථම මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ,
“මේ උද්ගතව ඇති පීඩාකාරී තත්ත්වයත් සමග ජනතාව ඉතාම දරුණු ලෙස රාජපක්ෂ පවුලේ දේශපාලනය ප්‍රතික්ෂේප කළා. එම පවුල් දේශපාලනය ඉතාමත් පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළා. ඒත් දැන් බලන්න ඊයේ පත් කළ රාජ්‍ය ඇමතිවරු 37 අතරට ශෂීන්ද්‍ර රාජපක්ෂව දාලා තිබෙනවා. ඒක ‘මුට්ටිය දමා බැලීමක්’. සාමාන්‍යයෙන් මම දන්න රාජපක්ෂ පවුලේ බල දේශපාලනයට අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය ඇමතිකමක් දෙනවානම් අනිවාර්යෙන්ම නාමල් රාජපක්ෂට කැබිනට් ඇමතිකමක් දෙනවා. ඒක තමයි ඒ පවුලේ බල දේශපාලනයේ සූත්‍රය. දැන් ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය ඇමතිකමක් ලබා දීලා මුට්ටිය දාලා බලන්නේ ඉදිරියේදී නාමල් රාජපක්ෂට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීමටයි. ආපහු ඇමතිකම් ටික බෙදාගෙන, මේ අය අර පරණ සෙල්ලම කරන්නයි හදන්නේ.
ජනතාවගේ පීඩනය, අපහසුතා පිළිබඳව මේ අය අබමල් රොනකවත් සැලකිල්ලක් දක්වා තිබෙනවා ද? රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති, ජනාධිපති වෙන්න කලින් නම් කිව්වේ, ‘මේ තිබෙන්නේ අලුත් තත්ත්වයක්. ඒකට පරණ දේශපාලනය හරි යන්නේ නැහැ’ කියලයි. එතකොට මේ දැන් තියෙන්නේ අලුත් දේශපාලනයක් ද? මේ සමහරුන්ට ඇමති කට්ටක් නැතිව හුස්ම ගන්න බැහැ. වාහන, තෙල් ටික අරන් සැපට ඉන්න එයාලට රාජ්‍ය හෝ කවර හෝ ඇමතිකමක් උවමනායි.
මහජනයා කියූ පණිවිඩය දැන්වත් තේරුම් ගන්න. ඒක තේරුම් නොගෙන මේ විදිහට ඉදිරියට යනවා නම් අපට කියන්න තියෙන්නේ ‘දෙයියන්ගේ පිහිටයි’ කියලා තමයි. මේ රට හයිටියක් බවට පත් කිරීමට බලා සිටින පිරිසට උවමනා වී ඇත්තේත් ආණ්ඩුවේ ඒ වැරදි භාවිතාවම තමයි. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරන්නේ රට හයිටියක් බවට පත්කිරීමට බලන් ඉන්න පිරිසට වුවමනා මතය හැදීමට අවශ්‍ය කරන වාතාවරණය සකසා දීමයි. මේ දේශපාලන ක්‍රියාදාමය අපි ඉතා පිළිකුලෙන් හෙළා දකිනවා.” යනුවෙන් පැවසීය.

