ආහාර හිඟය හේතුවෙන් සියයට 60 ක ජනතාව ගන්නා ආහාර ප්‍රමාණය අඩුකරලා

ආහාර හිඟය හේතුවෙන් සියයට 60 ක ජනතාව ගන්නා ආහාර ප්‍රමාණය අඩුකරලා

රටේ පවතින ආහාර හිඟතාවය හේතුවෙන් සියයට 60 ක පමණ ජනතාව ලබා ගන්නා ආහාර ප්‍රමාණය අඩුකර ඇති බව දත්තවලින් වාර්තා වී ඇති බව ජාතික ආහාර සුරක්ෂිතා පිළිබද ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී එක්වෙමින්.

එහිදී පවතින තත්වය සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිීය ලේකම්වරුන්ද දැනුවත් කර තිබෙනවා.

එහිදී ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර ඇති අතර ඊට අදාළව එළැඹෙන සතියේ සිට ගෙයින් ගෙට ගොස් අවශ්‍ය දත්ත රැස්කිරීමේ කටයුතුද ආරම්භ කරන බවයි ආචාර්ය සුරේන් බටගොඩ ප්‍රකාශ කළේ.

“පසුගිය යල කන්නය සහ මහ කන්නය සාර්ථක නොවීමෙන් රටේ ආහාර අර්බුදයක් ඇති වී තිබෙනවා. රටේ ආහාර හිඟතාව නිසා 60%ක් පමණ ජනතාව ආහාර ගන්න ප්‍රමාණය අඩු කර ඇති බවට දත්ත වාර්තා වෙනවා. අඩු ආදායම්ලාභීන්ට ආහාර ලබා දීම අපේ ප්‍රමුඛ වැඩසටහනක් වන්නේ ඒ නිසයි. ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දී තිබෙන්නේ කිසිම කෙනෙක් කුසගින්නේ තබන්න එපා කියලා. ඒ නිසා අපි ප්‍රජා මුලුතැන්ගෙය කියන වැඩසටහන හරහා ආහාර නැති අයට ආහාර ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ගෘහ ඒකක ශක්තිමත් කිරීමටත්, ඉදිරි මහ කන්නයේ දී වගා සැලසුම් ක්‍රියාත්මක කිරීමට දත්ත රැස් කිරීමටත් මෙමගින් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් රටේ ආහාර හිඟතාවකින් තොරව ජනතාවට ලබා දිය හැකියි. මේ ආහාර අර්බුදය ඇති වීමට රාජ්‍ය නිලධාරීන් එක් පැත්තකින් වගකියන්න ඕන. රාජ්‍ය නිලධාරීන් වශයෙන් අපිත් මෙයට මැදිහත් විය යුතුයි. මෙම ආර්ථික කේන්ද්‍රය හරහා ආහාර සහ වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.