මහනුවර පොලීසියේ තිදෙනෙක් හැර අනෙක් සියලු නිලධාරීන්ට ස්ථාන මාරු

මහනුවර පොලීසියේ තිදෙනෙක් හැර අනෙක් සියලු නිලධාරීන්ට ස්ථාන මාරු

මහනුවර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාත් අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන සැරයන්වරුන් දෙදෙනෙකුත් හැර සෙසු සියලු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පොලිස් ස්ථාන හා ඒකක වෙත මාරු කිරීමට මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ.

අපේක්ෂිත මහජන සේවය මහනුවර විවිධ පැමිණිලි අංශයෙන් මගින් නොලැබෙන බවට ලද පැමිණිලි මත අදාළ තීරණය ගෙන තිබෙන බව දැන ගන්නට ඇත.

හතළිහකට ආසන්න මාරු කළ පිරිස අතර පොලිස් පරීක්ෂකවරයෙකු හා උපපොලිස් පරීක්ෂකවරුන් පස් දෙනෙක් ද සිටිති.

විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා මෑතක එම අංශයට පැමිණ තිබෙන අතර එහ සැලකිල්ලට ගනිමින් ඔහු මාරු කළ කණ්ඩායමට ඇතුළත් කර නැත.

අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන නිලධාරීන් දෙදෙනා මාරු කිරීමෙන් එම වැඩකටයුතු වලට බාධා ඇතිවන බැවින් තාවකාලිකව ඔවුන් දෙදෙනා ද විවිධ පැමිණිලි අංශයේ ම සේවය සඳහා යොදවා තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්ය මහජන සේවය බව ත් විවිධ පැමිණිලි අංශය මගින් පුළුල් ලෙස එම සේවාව සිදු කිරීම සඳහා අදාළ මාරු කිරීම් කළ බව ත් මේ සම්බන්ධව කළ විමසීමකදී මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක පැවසීය.