ඉනෝකාගෙන් තවත් කුසලතාවයක් (Video)

වසර 14කට පසු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (13 වැනිදා) සමත්වූවාය. ඒ ඊයේ පැවැත්වූ අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමිනි.
ජයග්‍රහණය දෙපිලටම දෝලනය වූ තරගයේදී ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 18 තුළදී කඩුලු 7ක් අතැතිව ලකුණු 18ක් පමණක් පාකිස්තානයට අවශ්‍ය වී තිබිණි. එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර සහ අචිනි කුලසූරියගේ පන්දු හමුවේ පාකිස්තාන පිතිකාරණියන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 16ක් පමණි.
පාකිස්තානයට පන්දුවෙන් තර්ජනය එල්ල කළ ඉනෝකා රණවීර සිය පන්දු වාර 4 තුළදී ලකුණු 17කට කඩුලු 2ක් දවා ගැනීමට සමත්වූවාය.
තරගයේ වීරයා සම්මානය හිමි වූයේ ඉනෝකා රණවීරටයි.
කෙසේ වෙතත් සම්මානය ලබා ගැනීමෙන් අනතුර ඉනෝකා රණවීර තීරණය කලේ, එක් අනන්තයක සිට තමන්ට පන්දුවෙන් සහය දුන් අචිනි කුලසූරිය සමඟ එම සම්මානය බෙදා ගැනීමටයි.
ඉනෝකාගේ මෙම මානුෂිය ගුණාංගය බොහෝ දෙනාගේ පැසැසුමට ලක් වී තිබෙනවා.

