චමීරගේ සැත්කම සාර්ථකයි – තීරණාත්මක තරඟයේ කාසියේ වාසිය නවසීලන්තයට

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතරතුර දී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට සිදුකළ සැත්කම සාර්ථක බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර් අර්ජුන ද සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.
ඔස්ට්‍රෙලියාවේ රෝහලක දී මෙම සැත්කම සිදුකර තිබුණේ ඔහුගේ පාදයේ හටගත් ආබාධයක් හේතුවෙන්.
මේ අතර පන්දු වාර විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් තරඟයක් අද පැවැත්වෙනවා.
ඒ නවසීලන්තය කණ්ඩායම සමඟයි. මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට තරඟය ආරම්භ වීමට නියමිතයි.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර සහ කසුන් රාජිත එක්ව සිටිනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හැකියාව ලැබෙනවා.
මේ වන විට නවසීලන්ත කණ්ඩායම පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 3කට හිමිකම් කියමින්.
ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 2කට හිමිකම් කියමින් ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ රැදී සිටිනවා.
මේ අතර ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග වලට ඊයේ දිනයේදී වර්ෂාව හරස් වුවත් සිඩ්නි ක්‍රීඩාංගණය අවට කාලගුණය අද දිනයේ යහපත් තත්ත්වයක පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

