බලාපොරොත්තු වූ IMF ණය දෙසැම්බරයේ නොලැබෙන හැඩක්

බලාපොරොත්තු වූ IMF ණය දෙසැම්බරයේ නොලැබෙන හැඩක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ ණය මුදල දෙසැම්බර් මාසයේදී ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින්, හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත පෙන්වා දෙන්නේ, චීනය තවමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා ආරම්භ නොකිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

මේ නිසා ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් ලබා ගැනීම සඳහා වන කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වනු ඇති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

ඒ නිසා මෙම ණය මුදල ලබා ගැනීමට ලබන මාර්තු මාසය වන තෙක් බලා සිටීමට සිදුවිය හැකි බව මෙම වාර්තාව පවසයි.

හින්දුස්ථාන ටයිස්ම් වාර්තාව පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ විධායක මණ්ඩලයේ සාකච්ඡා ලබන මාර්තු මාසයේ පැවැත්වෙන බවයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සමබන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බවයි.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ,මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් සාකච්ඡාව සහභාගි වන මෙම සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඇතුළු ණය හිමියන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවලදී ගත් තීරණ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.