මුහුදේදී අනතුරට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙක් ආරක්ෂිතව වියට්නාම වරායට

මුහුදේදී අනතුරට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙක් ආරක්ෂිතව වියට්නාම වරායට

වියට්නාමය ආසන්න මුහුදේදී අනතුරට ලක්වෙමින් තිබියදී බේරා ගත් යාත්‍රාවේ සිටි 300කට අධික සංක්‍රම‍ණිකයින් පිරිස ශ්‍රී ලාංකිකයින් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, අදාළ පිරිස සම්බන්ධයෙන් වියට්නාම් සමුද්‍රීය සෝදිසි සහ බේරා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අනාවරණය කර ඇති බවය.

අදාළ යාත්‍රාව මියන්මාරයට අයත් ධීවර යාත්‍රාවක් වූ අතර වියට්නාමයේ වුං ටාඋ සිට නාවික සැතපුම් 250ක් දුරින් මෙම අනතුරට මුහුණ පා ඇත.

වියට්නාම් බලධාරීන් පවසා ඇත්තේ, අදාළ සංක්‍රමණිකයින් පිරිස කැනඩාව බලා යාත්‍රා කරමින් සිට ඇති බවය.

පැසිෆික් සාගරය ඔස්සේ නාවික සැතපුම් 6000ක් පමණ දුරක් යාත්‍රා කිරීමට ඔවුන් සැලසුම් කර තිබිණි.

මෙම යාත්‍රාව තුළට ජලය කාන්දු වෙමින් තිබී ඇති අතර නොවැම්බර් 5 වන දා තෙක් එය ප්‍රතිසංස්කරණය කර ගැනීමට නොහැකි වූ හෙයින් යාත්‍රාවේ කපිතාන් බව කියන පුද්ගලයෙකු ඊයේ දිනයේදී දුරකතනයෙන් අමතා සහය ඉල්ලා තිබිණි.

ඒ අනුව, වියට්නාම් බලධාරීන්ගේ මැදිහත් වීමෙන් ආසන්නයේ යාත්‍රා කරමින් පැවති ජපාන නෞකාවක ආධාරයෙන් අදාළ පිරිස බේරාගෙන තිබේ.

එය බේරාගන්නා අවස්ථාවේ කලබලයට පත් විශාල පිරිසක් බෝට්ටුවේ බඳ මත එක්රැස් වී සිටි බව බලධාරීහු පවසති.

මෙම යාත්‍රාවේ ළමුන් 20 දෙනෙකු ද ඇතුළු පුද්ගලයින් 303 දෙනෙකු සිට ඇති අතර ඔවුන් ආරක්ෂිතව වියට්නාමයට ගෙන ගොස් ඇත.

https://bit.ly/3hr30XF