පාඨලී ආණ්ඩුවට යයි ද?

පාඨලී ආණ්ඩුවට යයි ද?

රටට විසඳුම් ඉදිරිපත් කරද්දී ආණ්ඩුවට එකතුවීමක් වශයෙන් දැක්වීම අවරගණයේ ක්‍රියාවක් බවත් අපි කවදත් කොන්ද කෙලින් තියාගෙන රටට විසඳුම් ඉදිරිපත් කරලා විසඳුම් ක්‍රියාත්මක කරන්න කැපවූ පිරිසක් බව 43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ප්‍රශ්නය: ඔබත් ආණ්ඩුවට මාරු වෙනවද?

පිළිතුර : අවරගණයේ කතානේ. රටට විසඳුම් ඉදිරිපත් කරන කොට ඉතින් ඔන්න ආණ්ඩුවට යනවා. රනිල්ගේ පැත්ත ගන්නවා ආදී වශයෙන් කියනවා. අපි කවදත් කොන්ද කෙලින් තියාගෙන රටට විසඳුම් ඉදිරිපත් කරලා විසඳුම් ක්‍රියාත්මක කරන්න කැපවූ පිරිස. ඉතින් අපි මේ ජනවාරි මාසේ ඉදිරිපත් කළා. ඒක අහන්නේ නැතුව ගිහිල්ලා තමයි ආණ්ඩුව රට බංකොලොත් කර ගත්තේ. ඉතින් අපි දැනුත් විශ්වාස කරනවා රටට අවශ්‍ය විසඳුම් සහ ඒ සඳහා කටයුතු කිරීම. විරෝධතා කමක් නැහැ. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. නමුත් රටට ඕන විසඳුම් මිනිස්සුන්ට ඕනේ තමුන්ගේ දැවෙන ප්‍රශ්නවලට. ඖෂධ නැතිකමට, කෑම නැතිකමට. රස්සා නැතිකමට, ආදායම් අහිමිවීම ගැන, තෙල් නැතිවීම ගැන, විදුලිය නැතිවීම ගැන, ආර්ථික කඩාවැටීම, රටෙන් අපේ තරුණ පරම්පරාව පලා යන එක, වෘත්තීයවේදීන් මේ රටේ පලා යන එකට විසඳුම්. ඔය හුගාක් දෙනෙක්ගේ තත්ත්වයන් අපි දන්නවනේ. ඔය විරෝධතා දක්වන අය, රනිල් වික්‍රමසිංහ මහත්තයට කාලයක් තිස්සේ නායකයා කියාගෙන, වැඳගෙන හිටපු අය තමයි අද ගොඩක් දෙනෙක් බනින්නේ. ඒ වගේම හෙට දිනයේ ඒගොල්ලෝ එකතු වෙන්නත් පුළුවන්. අපි ඒ ජාතියේ කට්ටියක් නෙමෙයි. අපි මහින්ද රාජපක්ෂ මහත්තයාවත්, රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්කවත්, වෙන කා එක්කවත් පුද්ගලික වෛරයක් නෑ. අපිට අවශ්‍ය මේ රටට විසඳුම් ඉදිරිපත් කරන්න. ඒ විසඳුම් අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒ විසඳුම් ක්‍රියාත්මක කිරීමට කැපවීම.

ප්‍රශ්නය: මේ මොහොතේ දැන් ඇත්තම කතාව රාවයක් යනවනේ කණ්ඩායමක් එකතුවෙන්න යනවා කියලා. ඔබතුමා මොකක්ද හිතන්නේ? මොකක්ද මේ ඇත්තටම වෙන්නේ? ඒ මොකක් අරබයා ද යන්නේ?

පිළිතුර: ඒක සිද්ධ වුණාම ඒ ඇත්තන්ගෙන් අහන්න. එහෙම විපක්ෂයේ කට්ටියක් යනවා නම් ඒ කළාට පස්සේ ඒ ඇත්තන්ගෙන් අහලා දැනගන්න ඕන දෙයක්. එක එක්කෙනා ඉතින් ප්‍රශ්න දිහා දකින විදිය වෙනස්. ඉතින් ඒ අනුව ඒගොල්ලෝ හිතනවා ඇති ආණ්ඩුවට එකතුවෙලා තමයි වඩාත්ම හොඳ සේවය කරන්න පුළුවන්. විපක්ෂේ ඉන්නවට වැඩියෙන් කියලා. එහෙම වෙන්න ඇති ඒගොල්ලෝ යනවා ඇත්තෙ. ඉතින් ඒගොල්ලන්ගේ කල්කිරියාවත්, ආණ්ඩුවේ කල්කිරියාවත් ඔවුන් ලබා දෙන මත තීරණය වෙන්නේ.

ප්‍ශ්නය: මොනයම් හෝ මැතිවරණයක් සම්බන්ධව නිකන් ආසාවක්වත් නැද්ද මේ මොහොතේ?

පිළිතුර: මැතිවරණ දැනට පවත්වන්න එපැයි. නීත්‍යානුකූලව පළාත් පාලන මැතිවරණය පවත්වන්න. ඒ සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතුයි. මැතිවරණය කල් දැමීම විසඳුමක් නෙමෙයි. මොකද ඒක ජනතාවගේ ස්වෛරීභාවයට අත තැබීමක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණයත් ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් ඒ නිසා ඒක කල් දැමීම කිසිසේත්ම සුදුසු නෑ. මේ මහජන අසහනය තවත් තීව්‍ර වෙන දෙයක්.

ප්‍රශ්නය: සාමාන්‍යයෙන් මේ දැන් ආණ්ඩු පක්ෂයට නැතුව විපක්ෂයට එහෙම බලය ගියෝතින් නිකං මේ රට අරාජිකම වෙයිනේ. ඔය කියන පොඩි මැතිවරණෙත් එහෙම?

පිළිතුර: නෑ එහෙම අදහසක් නෑ. විපක්ෂයට ගියහම රට අරාජික වෙනවා කියලා, රට දැනටත් අරාජිකයි. අපි විශ්වාස කරන්නෑ කයිවාරු ගහන පමණින්, අපිට දුන්නොත් අපි කරලා පෙන්නන්නම් වගේ, කයිවාරු ගහන පමණින් කරන්න පුළුවන් කියලා. අපි මේ රටේ ජනතාවට කියන්නේ, ඔය හුඟක් දෙනෙක් ආණ්ඩු කළා. සමහරු ප්‍රාදේශීය සභා කළා. සමහරු අමාත්‍යාංශ කළා. සමහරු ආණ්ඩු කළා. ඒවායේ කළමනාකරණ හැකියාව ගැන බලලා කටයුතු කරන්න. එහෙම නැතුව මේ කෙනෙක් අලුතෙන් ඇවිල්ලා තමන් ලස්සන වූ පමණින් නළුවෙක් වූ පමණින් ක්‍රීඩකයෙක් වූ පමණින්, රණවිරුවෙකු එහෙම නැත්නම් වෙනත් කලාකාරයෙක් වූ පමණින් ඔහුත් හොඳ කළමනාකාරයෙක් වෙන්නෑ. දේශපාලන පවුලකින් පැවත ආ පමණින් ද එහෙම කළමනාකාරිත්වයක් නැහැ. ඒ අයගේ අමාත්‍යාංශවල කෙරුවාව ඒගොල්ලෝ කරපු දේ ගැන බලලා ඕනේ මහජනයාව තීන්දු කරන්න. එහෙම තීන්දු නොගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහා මාධ්‍ය මුලාවකින් බලයට ඇවිල්ලා මේ රටට මේ විනාශය කළේ. යනුවෙන් පැවසීය