ඇඳුම වෙනස් කළ ගුරුවරියන්ට වැඩ වරදින ලකුණු

ගුරුවරියන් වෙනුවෙන් නියම කර ඇති සාරිය සහ ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී ඊයේ (21) පාසල් වෙත පැමිණි ගුරුවරියන් පිළිබඳ ඉදිරියේ දී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වැඩබලන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ශාන්ත බණ්ඩාර සඳහන් කළා.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනු යි ඔහු මේ බව අවධාරණය කළේ.
ඉදිරියේ දී ඒ පිළිබඳ සිදු කෙරෙන සාකච්ඡාවකින් අනතුරු ව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් එම තීරණය ගනු ඇති බව යි ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.
මේ අතර පහසු ඇඳුමකින් සැරසී රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය කිසිසේත් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පි.කේ.මායාදුන්න සඳහන් කළේ, රජයේ කාර්යාලවල සේවය සඳහා පැමිණෙන සේවකයින් සම්බන්ධයෙන් එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.
ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට එය අදාළ නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

