1974 අද වැනි දිනක සිදු වූ ලොවක් හැඬ වූ ඛේදවාචකය

1974 අද වැනි දිනක සිදු වූ ලොවක් හැඬ වූ ඛේදවාචකය

මාර්ටින් එයාර් ගුවන් සේවයට අයත්, M. C ඩොනල් ඩග්ලස් DC 8 ගුවන් යානය, ඉන්දුනීසියාවේ සුරබෙයා ගුවන්තොටුපොළින් ගුවනට නැගුණේ, සෞදි අරාබිය දක්වා පියාසර කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි.

සෞදි අරාබියේ, ජෙඩා ගුවන්තොටුපොළ යානය ගොඩ බැස්වීමට නියමිත වූ ගමනාන්තය විය.

හජ් වන්දනාවේ යෑමේ බලාපොරොත්තුවෙන් සිටි මගීන් 182 සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළුව 191 දෙනෙකු මෙම ගුවන් ගමන සඳහා එක්ව සිටියේ ය.

‘මාටින්එයාර්’ ගුවන්යානයක්

සෞදි අරාබිය දක්වා යන ගමනේදී , කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යානයේ එක් නවාතැන් පොළක් වී තිබුණි.

මීට වසර 48ක‍ට පෙර එනම්, 1974 දෙසැම්බර් 04 වැනි දින M. C ඩොනල් ඩග්ලස් DC 8 ගුවන් යානය නොසිතූ මොහොතක රාත්‍රී 10.10 පමණ සප්ත කන්‍යා කඳු පන්තියේ ගැටුණි.

සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ, පහළින් ගමන් ගත් ගුවන් යානයක් කඳු පන්තියේ ගැටී ගිනිගත් වූ බවය.

අනතුරින් ගුවන් යානයේ ගමන්ගත්, සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූ අතර, යානයේ සිටි 191 දෙනාගේ සිරුරුවලින් හඳුනා ගත හැකි වූයේ එක් ගුවන් සේවිකාවකගේ දේහය පමණි.

යානය සප්ත කන්‍යා කඳු පන්තියේ ගැටෙන අවස්ථාවේදී, එහි ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කර තිබුණේ, එවකට 52 හැවිරිදි වියේ පසුවූ හෙන්රික් ලම්වේ නැමති ගුවන් නියමුවෙකි.

නෙදර්ලන්ත ජාතකයෙතු වූ ඔහු ගුවන් පැය 26,770 ගුවනේ ගතකළ පලපුරුදු ගුවන් නියමුවෙකු ද විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ලබා දුන් උපදෙස් නිවැරදිව ශ්‍රවණය නොවීම හේතුවෙන් යානය සප්ත කන්‍යා කඳු පන්තියේ ගැටී ඇතැයි පසුව හෙළිදරව් විය.

අනතුර සම්බන්ධයෙන් 1975 වසරේදී , මෙරට ප්‍රවාහන අමාත්‍යාංශයේ, මහජන ගුවන් කටයුතු දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කළේ ය.

අනතුරින් පසුව ගුවන් කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ගේ නම සහිත පුවරුවක් ස්ථාපිත කරනු ලැබිණි.

තවද මගීන්ගේ සිරුරු කොටස් මිහිදන් කර නිර්මාණය කරන ලද තවත් ස්මාරකයක් සප්ත කන්‍යා කඳු පන්තිය පේන මානයේ ස්ථාපිත කර ඇත.

M. C ඩොනල් ඩග්ලස් DC 8 ගුවන් යානය සප්ත කන්‍යා කදුපන්තියේ ගැටීම, එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ භයානකම ගුවන් අනතුර ලෙස හැඳින්විය හැකියි.

ගුවන්යානයේ කැබැල්ලක්