අයිස් මාරයා 8 සිට උසස් පෙළ දක්වා සිසුන් අතර

අයිස් මාරයා 8 සිට උසස් පෙළ දක්වා සිසුන් අතර

පාසල් සහ විශ්ව විද්‍යාල ආශ්‍රිතව සිඝ්‍රයෙන් අයිස් මත්ද්‍රව්‍ය ව්‍යාප්තව ඇති බව බුද්ධි අංශ වාර්තාවක් මගින් තොරතුරු අනාවරණ කර තිබෙනවා.

අදාළ බුද්ධි අංශ වාර්තාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

එමගින් දිවයින පුරා රජයේ පාසල්, පුද්ගලික උපකාරක පන්ති සහ විශ්ව විද්‍යාල ආවරණය වන පරිදි තොරතුරු එක්රැස් කර ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති පිරිස් සහ වයස් කාණ්ඩ ඔවුන් අතර එම මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට හේතුව මෙන්ම එය වලක්වා ගැනීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් ද එහි නිර්දේශ කර තිබෙනවා.

08 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් අතර අයිස් භාවිතයේ සිඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවත් පුද්ගලික උපකාරක පන්ති ආශ්‍රිතව මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙන බවත් අදාළ බුද්ධි අංශ වාර්තවේ සඳහන්.

එමෙන්ම විශ්ව විද්‍යාලවල පළමු සහ දෙවන වසර සිසුන් අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව ද එහි දැක්වෙනවා.

මේ අතර ගම්පහ,මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාවක තිබී මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සොයා ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, අදාළ ආපනශාලවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සොයා ගත් බවයි.

කාන්තාවක පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.