අධික සීතලෙන් ගවයන් සහ එළුවන් තවත් මියයයි (Photos)

අධික සීතලෙන් ගවයන් සහ එළුවන් තවත් මියයයි (Photos)

උතුරු පළාතට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ අධික සීතල දරාගත නොහැකිව අද (දෙසැ. 11) දින වන විට ගවයින් දහසකට අධික සංඛ්‍යාවක් සහ එළුවන් 400 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි උතුරු පළාත් පශු සම්පත් නිෂ්පාදන සෞඛ්‍ය අධ්‍යක්ෂක සී. වසීකරන් පවසයි.

ගවයින් සහ එළුවන් විශාල සංඛ්‍යාවක් එකවර මිය ගිය පළමු අවස්ථාව මෙය වන අතර මේ හේතුවෙන් හිමිකරුවන්ට රුපියල් කෝටි 50කට ත් අධික පාඩුවක් සිදුවී ඇතැයි ද වාර්තා වී ඇත.

ගවයින් සහ එළුවන්ට අමතරව කුකුළන්, සුනඛයින් ආදී කුඩා සතුන් ද විශාල සංඛ්‍යාවක් අධික සීතල හේතුවෙන් මිය ගොස් ඇති අතර ම එලෙස මිය ගිය සංඛ්‍යාව නිශ්චිතව මේ දක්වා වාර්තා වී නොමැති බවට ද උතුරු පළාත් ආපදා කළමනාකරණ කාර්යාල පැවසීය.

ඒ අනුව, අධික සීතල හේතුවෙන් වැඩි ම ගවයින් සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ, මුලතිව් දිස්ත්‍රික්කයේ වන අතර එහි ගවයින් 700ක, එළුවන් 210ක, කිලනොච්චියේ ගවයින් 210ක, එළුවන් 30ක සහ යාපනයේ ගවයින් 110ක සහ එළුවන් 150කගේ සිරුරු හමු වී ඇත.

තව ද කැලෑ වැදුණු සතුන්ගේ සිරුරු ද හමු වී තිබේ.

පවතින කාලගුණික තත්ත්වය ඉදිරියට ද පැවතියහොත් සතුන්ගේ මිය යාම තව ත් වැඩිවිය හැකි බවට ත් හැකි අයුරින් සතුන් උණුසුම් ස්ථානවල රඳවා තබන ලෙසට ද උතුරු පළාත් ආපදා කළමනාකරණ ඒකකයන් ජනතාවට දැනුම් දී ඇත.

මේ අතර උතුරු,නැගෙනහිර ගවයින් සහ එළුවන් මියයෑම ගැන පර්යේෂණයට අදාළ සාම්පල පේරාදෙණිය පශු පර්යේෂණායතනයට භාර දී තිබේ.

ඒ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ,පශු විමර්ශන නිලධාරීන් සිදු කළ විමර්ශන වලින් අනතුරුවයි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ,අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළේ ඒ අනුව ලැබුණු සාම්පල මත පදනම්ව සත්වයින් මියගිය හේතුව සොයා පරීක්ෂණ අරඹන බවයි.

පසුගිය 08 සහ 09 යන දෙදින ඇතුළත උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ ගවයින් 802 ක් මීගවයින් 34 ක් සහ එළුවන් 256 ක් මියගොස් තිබේ.

මේ වන විට ලැබී ඇති සතුන්ගේ මරණ පරීක්ෂණ වාර්තා සහ ලැබී ඇති දත්ත අනුව, එම සතුන් වැඩි වශයෙන් එළිමහනේ රැඳී සිටින බැවින් එකවර ඇතිවූ අධික ශීත කාලගුණික තත්ත්වය මත සත්වයින්ට ඇතිවූ ආතතිය, එම මරණවලට හේතුව බව දැනට පෙනී යන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළාය.