අරගලය ප්‍රචණ්ඩකාරී කළේ අන්තරේ සහ පෙරටුගාමීන් – මෝටිවේෂන් අප්පච්චි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමට ඊයේ (13) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය නියෝග කළේය.
සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මේ වනතෙක් ලැබී නොමැති බැවින් සැකකරු ඉදිරිය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය එහිදී නියම කළා ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කඩිනම් කරමින් සැකකරුට එරෙහිව ගොනු කර ඇති චෝදනාවල සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත නියම කළ අතර මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදුකරන ලෙසට ද උපදෙස් ලබා දුන්නා ය.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
තම සේවාදායකයාට එරෙහිව ත්‍රස්ත මර්දන කොට්ඨාසය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන නිශ්චිත වරදවල් පිළිබඳව සැකකරුට එරෙහිව කරුණු ඉදිරිපත් කර නොමැති බවට ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.
අප්‍රේල් මස 8 වන දින පොල්දූව මංසන්ධියේ පැවති උද්ඝෝෂණය, මැයි 19 වන දින කොටුව දුම්රිය ස්ථානයේ පැවති උද්ඝෝෂණය, ජූනි මස 9 වන දින කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය, ජූනි මස 10 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාල ඉදිරිපිට පැවති උද්ඝෝෂණය, ජූලි මස 8 වන දින කොටුව බැංකු මාවත අසල උද්ඝෝෂණ හා ජූලි මස 9 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය හා ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීම හා නැවත භාරදීම ඇතුළුව සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද අනිකුත් සැකකරුවන්ට එරෙහිව එක් එක් අධිකරණවල ලංකා දණ්ඩ නීති සංග්‍රහය හා මංමාවත් පනත පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති අවස්ථාවක තම සේවාදායකයා වන වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන්ට පමණක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව චෝදනා ගොනු කර රැඳවුම් භාරයේ තබා පසුව රක්ෂිත බන්ධනාගාරගත කිරීම අසාධාරණ කරුණක් බැවින් ඒ පිළිබඳව ද අවධානය යොමු කරන ලෙසට ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එසේ ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිශ්චිත වරදවල් අනාවරණය කර නොමැති අතර එසේ ම, එම වරදවල් ඉදිරිපත් කර නොමැති බව ද සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පැමිණිල්ල විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.
පැමිණිල්ල වෙනුවෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර හා නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘මෝටිවේෂන් අප්පච්චි’ නමින් ප්‍රකට පියුමාල් සමරසිංහ යන අය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබා දී ඇති බව ත් ඔහුගේ ප්‍රකාශය අනුව, මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ඔවුන් ඇතුළු පිරිස මුලදී ඉතා සාමකාමීව පවත්වා ඇති අතර අනතුරුව පෙරටුගාමීන් හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් එම ව්‍යාපාරයන් බලෙන් පැහැර ගනු ලැබ විනාශ කර ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු සිදු කරන බවට අනාවරණය වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.
එසේ ම, තවත් සාක්ෂිකරුවෙකු ලෙස ගැමුණු විජේවර්ධන යන අය විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත දෙන ලද ප්‍රකාශ අනුව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඔවුන් සාමකාමීව සිදුකර අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා පෙරටුගාමීන් විසින් ඒවා අත්පත් කර ගැබු ලැබ අනතුරුව මෙවැනි ක්‍රියා සිදු කිරීමට ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් ඔවුන්ට මුදල් ලබා දී ඇති බවට සැකයක් පවතින බව ද ඔහුගේ ප්‍රකාශයෙන් අනාවරණය වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.
අරගලය වරදක් නොවන බවත් නමුත් ඒ ප්‍රචණ්ඩකාරී වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බව ත් මේ වන විට සිදුකරනු ලබන්නේ ද එවැනි විමර්ශනයක් වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.
සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර සිටියේ, යම්කිසි කටයුත්තක් සඳහා නායකත්වයක් අවශ්‍ය වන බව ත් එහිදී මෙම සැකකරු සිදුකර ඇත්තේ එම නායකත්වයෙන් මෙහෙයවීම බව ත් ඕනෑ ම කටයුත්තකදී එවැනි නායකයෙකු මෙහෙයවීමක් සිදු කරන බවට සාධාරණ ලෙස බැලිය යුතු බවත් ය.
මෙම විමර්ශන කටයුතු කඩිනමින් සිදු කරන ලෙසට තමා මුල සිට ම නිලධාරීන් වෙත නියම කර සිටි බවට ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශාල පිරිසක් සිටින අතර ඒ අයට මංමාවත් පනත පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බව ප්‍රකාශ කළා ය.
ඒ අනුව, හැකි ඉක්මනින් ස්වාධීන විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තාකරණ ලෙස ත් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අවශ්‍ය බැවින් එය ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත් මහේස්ත්‍රාත්වරිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත නියෝග කළේ ය.
කිසි ම අයෙකුට මෙම තැනැත්තා සම්බන්ධයෙන් පුද්ගලික තරහවක් නොමැති බැවින් පොඩි හෝ සිද්ධීන්වලට එක් අයෙකු හෝ මූලිකත්වය ගැනීම සුදුසු යැයි යන කරුණ සැලකිල්ලට ගෙන සාධාරණව කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී පැමිණිල්ල වෙත ප්‍රකාශ කර සිටියා ය.
අනතුරුව මෙම නඩුව නැවත ලබන 17 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

