ලංකාවේ රජයේ සේවකයෝ හැසිරෙන්නේ රජවරු වගේ – චෝ සුං ලී

ලංකාවේ රජයේ සේවකයෝ හැසිරෙන්නේ රජවරු වගේ – චෝ සුං ලී

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සහ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතු බව කොරියානු ආපදා සහන පදනමේ (KDRF) සභාපති චෝ සුං ලී පවසනවා.

ඒ, ඊයේ (21) සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ දී පැවැත්වුණු සාකච්ඡාවක දී.

අදාළ හමුවට සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් ද සහභාගී වී තිබෙනවා.

රටක ඕනෑ ම ආකාරයක සංවර්ධනයක් දැකීමට නම් ජනතාවගේ මානසිකත්වය වෙනස් කළ යුතු බව යි ඔහු සඳහන් කරන්නේ.

වසර 40ක් වැනි කෙටි කාලයක් තුළ දකුණු කොරියාව ලෝකයේ වඩාත් ම සංවර්ධිත සහ බලවත් රටක් වූ ආකාරයත් ඔහු මෙහි දී අවධාරණය කර තිබෙනවා.

“දකුණු කොරියාවේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළේ ගම්වලින්. මිනිසුන්ට කාර්යක්ෂම ව හා ඉක්මනින් භාවිත කළ හැකි වන පරිදි අපි සියලු මාර්ග ඉදි කළා. එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියානු රජය අරමුදල් සම්පාදනය කළා.

ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වීමට අවශ්‍ය නම් මිනිසුන්ගේ චින්තන රටාවද වෙනස් විය යුතුයි. ඒ සඳහා අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි

රටක ජනතාව ස්වෛරී ය. නමුත් ලංකාවේ රාජ්‍ය සේවකයෝ හැසිරෙන්නේ රජවරු වගේ. ඒ නිසා ඒ විදියට ශ්‍රී ලංකාව මේ ආකාරයට පත් වෙලා” යනුවෙන් චෝ සුං ලී වැඩිදුරටත් එහි දී පවසා තිබෙනවා.