ලයිසන් කාර්යාලය ළඟ ගොදුරු සොයමින් සිටි කපුටන් 22ක් අල්ලයි

නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයන් රවටා ඔවුන්ගේ මුදල් සහ වැදගත් ලිපි ලේඛන සූක්ෂම අයුරින් රැගෙන පලායන සංවිධානාත්මක කල්ලියකට අයත් සාමාජිකයන් 22ක් අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසනවා.
මේ අතර සැකකරුවන් සන්තකයේ තිබී රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන විවිධ ලිපි ලේඛන, සමාදාන විනිශ්චකාර බවට හා රාජ්‍ය ආයතනවලට අයත් නිල මුද්‍රා විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
විවිධ අවශ්‍යතා සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී එය ඉක්මනින් ඉටු කර දෙන බව පවසා ප්‍රධාන දොරටුව අසල හමුවූ නාඳුනන පුද්ගලයන් තමන්ගේ මුදල් හා ලිපි ලේඛන රැගෙන අතුරුදන් වූ බවට ඉකුත් කාලය පුරා නාරහෙන්පිට සහ බොරැල්ල පොලිසිවලට දිගින් දිගටම ලද පැමිණිලි අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
මේ අතර මෙම වංචාකාරී කල්ලියට හසුවී මුදල් සහ ලිපි ලේඛන අහිමිකරගත් බහුතරයක් පිරිස දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් බවයි බොරැල්ල පොලිසිය පවසන්නේ.

