අයහපත් කාලගුණයෙන් විශේෂ දුම්රිය සේවා කිහිපයක් අවලංගු කෙරේ

අයහපත් කාලගුණයෙන් විශේෂ දුම්රිය සේවා කිහිපයක් අවලංගු කෙරේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඇතැම් විශේෂ දුම්රිය සේවා අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොටුව දක්වා ධාවනය වීමට නියමිත ව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා පැමිණීමට නියමිතව තිබූ දුම්රිය සහ පස්වරු 12.40 ට කොටුව සිට නානුඔය බලා ධාවනය වන දුම්රිය අද (25) දින අවලංගු කර තිබෙනවා.

මහනුවර දුම්රිය අංගනය ජලයෙන් යටවීම සහ පිළිමතලාව සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර පිහිටි නානුඔය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා මතු වී තිබෙනවා.

ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය පිළිමතලාව දක්වා පමණක් සීමා කර ඇති බව සඳහන්.