පොලිස් ලොක්කෝ 11ක් ගෙදර යයි

පොලිස් ලොක්කෝ 11ක් ගෙදර යයි

ජ්‍යෙෂ්‍ඨ පොලිස් නිලධාරින් 11 දෙනෙකු අද (31) දිනයේ සිට විශ්‍රාම ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, නියමිත වයස සම්පූර්ණ වීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙකු එලෙස විශ්‍රාම යන බවයි.

මෙලෙස විශ්‍රාම යන පිරිස අතර ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එෆ්.යූ. ප්‍රනාන්දු යන නිලධාරින් වෙනවා.

මීට අමතරව ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඔගස්ටස් පෙරේරා, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.යූ. විජිත ගුණරත්න, ප්‍රජා පොලිස් සහ ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර යන නිලධාරින් ද විශ්‍රාම යාමට නියමිතයි.

තව ද කෑගල්ල දිසාව භාර චම්පික සිරිවර්ධන, බදුල්ල දිසාව භාර කිත්සිරි ජයලාල් අපෝන්සු, කළුතර දිසාව භාර එස්.ඩී.එස්.පී. සන්දනායක, නුවරඑළිය දිසාව භාර එච්.එස්.එන්. පීරිස් සහ බස්නාහිර උතුරු අපරාධ දිසාව භාර ප්‍රිෂාන්ත ජයකොඩි යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද විශ්‍රාමයාමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.