වැලිකතරේ සිංහයා 27 සමරයි

ශ්රී ලංකා ගුවන් හමුදා අංක 10 කෆීර් ප්රහාරක ජෙට් යානා බලඝණය අද (05) දින සිය 27 වෙනි සංවත්සරය සමරනු ලබනවා.
වැලිකතරේ සිංහයා, නමින් විරුදාවලිය ලත් කෆීර් ප්රහාරක ජෙට් යානාවන්ගෙන් සමන්විත මෙම බලඝණය 1996 වසරේ අද වැනි දිනක ඊශ්රායලයේ නිෂ්පාදිත කෆීර් ප්රහාරක ජෙට් යානා 06 කින් සහ වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ද ඇතුළුව ගුවන් නියමුවන් 04 දෙනෙකුගෙන් ද ඉංජිනේරු නිළධාරීන් 04 දෙනෙකු හා කාර්මික ශිල්පීන් 70 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණඩලයකින් ආරම්භ කරන ලද්දක් බවයි ශ්රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ.
මෙම බලඝණය සදහා 2000 වර්ෂයේ දී කෆීර් ප්රහාරක ජෙට් යානාවන් 09ක් අලුතින් එකතුවීමත් සමග බළඝනය තවත් ශක්තිමත් වු අතර වර්ෂ ගණනාවක් මුළුල්ලේ අතිශයින්ම වැදගත් වූ ප්රහාරක මෙහෙයුම් රාශියක් සිදුකිරීමට සක්රීය දායකත්වය ලබාදිම වෙනුවෙන් වර්ෂ 2009 මාර්තු මස 08 වැනි දින එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අංක 10 කෆීර් ප්රහාරක ජෙට් යානා බළඝණය වෙත ජනාධිපති වර්ණ ප්රධානය කළා.
අංක 10 කෆීර් ප්රහාරක ජෙට් යානා 1996 වසරේ සිට 2009 වසර දක්වා ප්රහාරක මෙහෙයුම් 2500කට අධික ප්රමාණයක් සිදු කර ඇති බව පවසන ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ, අනාගතයේදී ද කිසිඳු කලාපීය ගුවන් හමුදාවකට නොදෙවෙනි හැකියාවන් සහිතව හා උසස් පුහුණුව ලත් සාමාජික පිරිස් සමගින් දේශයේ ආරක්ෂාව සුරැකීම වෙනුවෙන් නිරතුරුව සුදානමින්ව සිටින බවයි.

