ශ්‍රී ලංකාව ඉන්දියාවට පාඩමක් උගන්වයි

සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරඟයෙන් ලකුණු 16ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (05) සමත් විය.
ඒ අනුව තරඟ 3කින් සමන්විත තරඟාවලිය තරග 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවෙයි.
පූනේහිදී පැවති තරඟයේ කාසියේ වාසිය හිමි කරගත් ඉන්දීය ක්‍රිකට් නායක හර්ඩික් පාන්ඩ්යා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඊයේ සහභාගී වූයේ 84 වැනි පන්දුවාර 20යි 20 තරගයටයි.
ඒ අනුව මෙරට වෙනුවෙන් වැඩිම පන්දුවාර 20යි 20 තරග සංඛ්‍යාවකට එක් වූ ක්‍රීඩකයා ලෙස ලසිත් මාලිංග සමග දසුන් ශානක ඊයේ දිනයේදී සමතැන් ගනී.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ලට කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ ලකුණු 80ක සබඳතාවක් ගොඩනගමිනි.
මෙන්ඩිස් පන්දු 31කින් ලකුණු 52ක් රැස් කළේය.
6 පහර 4ක් සහ 4 පහර 3ක් ඊට ඇතුළත් විය.
පැතුම් නිස්සංක 4 පහර 4ක්ද සමගින් ලකුණු 33ක් රැස් කළේය.
චරිත් අසලංක පන්දු 19කින් වේගවත් ලකුණු 37ක් රැස් කළ අතර ඊට 6 පහර 4ක් ඇතුළත් විය.
නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න 7වැනි කඩුල්ලට ලකුණු 68ක නොබිඳුනු සබඳතාවක් ගොඩනැගුවේය.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 22කින් ලකුණු 56ක් රැස් කළ අතර 6 පහර 6කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය.
ඊට 4 පහර 2ක්ද ඇතුළත්ය.
උම්රන් මලීක් කඩුලු 3ක් දවා ගත්තේය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 206ක් ලකුණු පුවරුව ඉදිරියේ සටහන් කළේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් පෙල කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 21කදීය.
ඉශන් කිශන් ලකුණු 2කට දැවී ගියේය.
ශුබ්මන් ගිල් සහ රාහුල් ත්‍රිපාති ලකුණු 5 බැගින් රැස් කළේය.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී ඉන්දීය කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 190ක් පමණි.

