ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුරුම්පු දෙකක් ආබාධයට ලක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුරුම්පු දෙකක් ආබාධයට ලක්වෙයි

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඊයේ (10) පැවති පළමු එක්දින තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ආබාධවලට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙලෙස ආබාධවලට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සහ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංකයි.

එහිදී වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක පන්දුවක් රැකගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ අත බිම වැදීමෙන් දකුණු උරහිසේ ආබාධයකට ලක්ව ඇත.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අද දිනයේදී X-ray සහ MRI පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

ඒ අනුව ආදාළ පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව ඩිල්ෂාන් මදුශංක සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කළමනාකාරීත්වය තීරණය කර ඇත.

මේ අතර චාමික කරුණාරත්න ඊයේ තරගයට පෙර ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම වලදී පන්දුවක් උඩු තොළ ප්‍රදේශයේ වැදීම නිසා තුවාල ලබා ඇත.

ඊයේ දිනයේ සිදුවූ තුවාලය හේතුවෙන් ඔහුගේ උඩු තොළ ආශ්‍රිතව මැහුම් තුනක් යොදා ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවත් වෛද්‍ය නිර්දේශය මත ඔහු ඊයේ තරඟයට ක්‍රීඩා කළේය.

ඔහු දෙවැනි එක්දින තරඟයට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.