දසුන්ගේ සටන්කාමී ඉනිම ජයග්‍රහණයට යන්න මදි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරඟය ඉන්දීය කණ්ඩායම ඊයේ (10) ලකුණු 67කින් ජයගැනීමට සමත් විය.
කෙසේ නමුත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක ශතකයක් රැස් කළේ ය.
ගුවහාටිහිදී පැවැති තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක කඩුල්ලට නායක රෝහිත් ශර්මා සමග ශුබිමන් ගිල් ලකුණු 143ක සබඳතාවක් එක් කළේ, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනි.
ශුබ්මන් ගිල් ලකුණු 70ක් රැස් කළ අතර රෝහිත් ශර්මා ලකුණු 83කට දැවී ගියේ ඩිල්ශාන් මදුශංකගේ මංගල එක් දින කඩුල්ල ලෙසයි.
විරාත් කෝලි 45 වැනි එක් දින ශතකය අද ලබා ගත්තේ ය.
374ක දැවැන්ත ඉලක්කයකින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුනේ ලකුණු 64කදීයි.
පැතුම් නිස්සංක ලකුණු 72ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 47ක් ලෙස රැස් කළහ.
පිතිකරුවන් රැසක් අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත් වෙද්දී හුදකලා සටනක නිරත වූ දසුන් ශානක ඊයේ දිනයේදී කසුන් රාජිත සමඟ 9 වැනි කඩුල්ලට ලකුණු 100ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගුවේ ය.
එක්දින තරගයක නවවැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනකු ගොඩනැගූ දෙවැනි ඉහළම සබඳතාවයද එයයි.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක ඊයේ රැස් කළේ සිය දෙවැනි එක්දින ශතකයයි.
ඔහු නොදැවී රැස් කළ ලකුණු 108ට හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.
තරගයේ ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම ඉන්දීය කණ්ඩායමට හිමිවී තිබුණද දසුන් ශානක ඉනිමේ අවසන් පන්දුවත් දැවැන්ත හයේ පහරක් බවට පත් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 306ක් දක්වා ඉහළට ගෙන ගියේ ය.

