ඉන්දියාවට එක්දින තරඟාවලියේ ශූරතාව

ඉන්දීය කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඉන්දියාවේ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාපිටියේ ඊයේ (12) පැවති දෙවන එක්දින තරඟයේ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායම සතු වුණා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 39.4 ක් තුළ දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 215ක්.
ඒ අනුව ලකුණු 216ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43.2 තුළ දී කඩුලු 6 ක් දැවී අදාළ ඉලක්කය සපුරා ගත්තා.
සුපුරුදු පරිදි ම ඉන්දීය ඉනිමට ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා ගන්නට රෝහිත් ෂර්මා සහ ෂුබ්මන් ගිල් දෙදෙනා සමත් වුණා.
පන්දු ඕවර පහක් තුළ දී මේ දෙදෙනා ලකුණු 33 ක් රැස් කර සිටියදී රෝහිත් ෂර්මා ලකුණු 17ට දැවී ගියේ චාමික කරුණාරත්නගේ පන්දුවක් හමුවේ කඩුළු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.
තරඟයේ 6 වැනි පන්දුවාරයේදී ෂුබ්මන් ගිල් ලකුණු 21ට දවා ගන්නට ළහිරු කුමාර සමත් වුණා.
ඉන් පසු නැවතත් ක්‍රියාත්මක වූ ළහිරු කුමාර විරාත් කෝලි ලකුණු හතරකට දවා ගන්නට සමත් වුණා.
ඒ වන විට ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 62කට කඩුලු 3ක් වශයෙන්.
මුළු ලකුණු සංඛ්‍යාව 86ක් වෙද්දී ඉන්දීය කණ්ඩායමේ සිවුවැනි කඩුල්ලත් බිඳ ගන්නට කසුන් රාජිත සමත් වුණේ හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රෙයාස් අයියර් ලකුණු 28 දවාගනිමින්.
නමුත් ඉන්පසු සිය කණ්ඩායම වැටී සිටි තත්ත්වය හොඳින් අවබෝධ කර කරගත් කේල් රාහුල් සහ හර්දික් පාණ්ඩ්‍යා දෙදෙනා පස්වැනි කඩුල්ල සඳහා සෙමෙන් නමුත් අගනා සම්බන්ධතාවක් ගොඩ නඟන්නට සමත්වුණා.
මේ දෙදෙනා අතරේ පස්වැනි කඩුල්ල සඳහා ගොඩනැගුණු සම්බන්ධතාව ලකුණු 75ක්.
එය බිඳ වැටුණේ හර්දික් පාණ්ඩ්‍යා චාමික කරුණාරත්න ගේ පන්දුවක් හමුවේ ලකුණු 36කට දැවී යාමත් සමගයි.
ඒ වන විට ඉන්දීය ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 161කට කඩුලු 5ක් වශයෙන්.
ජයග්‍රහණය සඳහා ලකුණු 25ක් ලබා ගත යුතුව තිබිය දී ඉන්දීය කණ්ඩායමේ 6 වැනි කඩුල්ලත් දවා ගන්නට ධනංජය ද සිල්වා සමත් වුණා.
ඒ වේගයෙන් පන්දුවට පහරදෙමින් සිටි අක්සාර් පතෙල් ලකුණු 21ට දවා ගනිමින්.
අනතුරේ වැටුණු ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත් වූ කේල් රාහුල් තරගයේ හතළිස් වැනි පන්දුවාරයේදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගන්නේ පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර තුනක් පමණක් එල්ල කරමින්.
ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ රාහුල් තරඟය නිමාවන විට නොදැවී ලකුණු 64ක් ලබා සිටියා
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

