එතෙක් මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේ ලැබූ දරුණුම පරාජය ශ්‍රී ලංකාව ඉදිරියේ ලියවෙයි

එතෙක් මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේ ලැබූ දරුණුම පරාජය ශ්‍රී ලංකාව ඉදිරියේ ලියවෙයි

ශ්‍රී ලංකාවට එරෙහි එක් දින ක්‍රිකට් තරඟාවලිය 3ට 0ක් ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ ජය ගත්තේ ය.

ඒ තරඟාවලියේ තුන් වැනි තරඟය ලකුණු 317 ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමත් සමඟ ය.

එය එක්දින තරඟයක වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් තරගය ලෙස ද ඉතිහාසයට එක් වේ.

තිරුවානන්තපුරම්හීදි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට නායක රෝහිත් ෂර්මා සහ ශුබ්මන් ගිල් සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ ය.

ඒ ලකුණු 95ක වේගවත් සබධතාවක් පවත්වමිනි.

රෝහිත් ශර්මා ලකුණු 42ක් ලබා ගත්තේ ය.

ශුබ්මන් ගිල් සමග එක් වූ විරාත් කෝලි දෙවැනි කඩුල්ලට ලකුණු 131ක සබඳතාවක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නනට දැඩි පීඩනයක් එල්ල කරමිනි.

ශුබ්මන් ගිල් සිය 2 වැනි එක් දින ශතකය අද වාර්තා කළේ ය.

ජෙෆ්රි වැන්ඩසේ සහ අශේන් බණ්ඩාර 4 සීමාව අසලදී පන්දු රැකීමේ නිරතව සිටි‍යදී එකිනෙකා ගැටීමෙන් ආබාධයන්ට ලක් වූ අතර ඒ අනුව ඔවුන් ස්කෑන් පරීක්ෂණවලට යොමු කළේ ය.

විරාත් කෝලි සහ ශ්‍රෙයාස් අයියර් 3 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 108කි.

කෝලි නොදැවී ලකුණු 166ක් රැස් කළ අතර එය ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව එක් දින තරඟයකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 390ක් රැස් කළේ ය.

ලකුණු 391ක දැවැන්ත ඉලක්කයකින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට සාර්ථක ලකුණු සබඳතා ගොඩනැගීමට මොහොමඩ් ශාමි සහ මොහොමඩ් සිරාජ් ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත.

ඒ අනුව ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 35කදීයි.

නුවනිදු ප්‍රනාන්දු ලකුණු 19ක් රැස් කළ අතර දසුන් ශානක ලකුණු 11කට දැවී ගියේ ය.

කසුන් රාජිත නොදැවී ලකුණු 13ක් ලබා ගත්තේ ය.

මොහොමඩ් සිරාජ් කඩුලු 4ක් දවා ගත් අතර මොහොමඩ් ශාමි සහ කුල්දීප් යාදව් අතර කඩුලු 2 බැගින් බෙදී යන්නට විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 73ක් පමණයි.

ඒ අනුව වැඩිම ලකුණු පරතරයකින් එක්දින ජාත්‍යන්තර තරඟයක් ජය ගත් කණ්ඩායම ලෙස ඉන්දියාව ඊයේ (15) වාර්තා අතරට එක් විය.

එය, ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවකින් පරාජය වූ අවස්ථාවයි.

එසේ ම එය ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් පරාජය වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද සටහන් වනවා.