ඉන්දියාව හමුවේ ලැබූ අන්ත පරාජය ගැන ක්‍රිකට් ආයතනය වාර්තාවක් කැඳවයි

ඉන්දියා – ශ්‍රී ලංකා තුන්වැනි එක්දින තරගයේදී ඉන්දියාව හමුවේ ලැබූ ලකුණු 317ක වාර්තාගත පරාජය පිළිබඳව දින 5 ක් තුළ වාර්තාවක් දෙන්නැයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකාරීත්වයට නියෝග කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ අදහස්වලට අමතරව කණ්ඩායම් කළමණාකරුගේ අදහස්ද ඇතුළත් මෙම වාර්තාව දින 5කදී ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර ඇති බවයි.
මේ අතර ඉන්දීය තරග සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ යළි දිවයිනට පැමිණියේ ය.
2023 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ පළමු තරග සංචාරය නිමා වූයේ තරගාවලි දෙකක පරාජයන් දෙකක් හිමිකර ගනිමිනි.
සත්කාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති පන්දුවාර 20යි 20 තරගාවලිය තරඟ 2ට 1ක් ලෙසත් එක්දින තරඟාවලිය 3ට 0ක් ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.
අවසන් එක්දින තරගය අතරතුර ආබාධයන්ට ලක්වූ අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේද එලෙස පැමිණි කණ්ඩායමට ඇතුළත් වූහ.

