බිත්තර වලටත් මිල සූත්‍රයක්

බිත්තර සඳහා මිල සූත්‍රයක් දින 03ක් ඇතුළත ලබා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී එහි සභාපති, මහාචාර්ය රංජිත් බණ්ඩාර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කර තිබෙනවා.
ඒ, එම අධිකාරියේ නිලධාරීන් ඊයේ (19) කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ දී යි.
බිත්තර ආනයනයට ඉදිරිපත් වූ සමාගම් රුපියල් 32යි ශත 05කට බිත්තර ආනයනය කිරීමට කැමැත්ත පළ කර තිබූ බව එහි දී අනාවරණ වුණා.
එහෙත් කුරුළු උණ රෝගය හේතුවෙන් බිත්තර ආනයනයට ඉඩ ලබා දිය නො හැකි බව එහි දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කිරීමත් සමඟ කමිටු රැස්වීම උණුසුම් වුණා.
එම සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලංසා, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ද මැදිහත් වුණා.
මේ අතර, පෙරේදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ද කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර, එහි දී එම කාර්යාංශය නියාමන ආයතනයක් ලෙස කටයුතු කිරීම සඳහා සුදුසු ආකාරයට පනත සංශෝධනය විය යුතු බව කෝප් කමිටුව යළි අවධාරණය කළා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ගන්නා තීරණ පිළිබඳ විශේෂ කමිටුවක් පත් කිරීම පිළිබඳ විගණකාධිපතිවරයාගේ අදහස ක්‍රියාවට නැංවීමට එහි දී තීන්දු කර තිබෙනවා.
එමෙන්ම, රක්ෂණාවරණ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගෙන් විශේෂ වාර්තාවක් කැඳවීමට ද තීන්දු කළ බව යි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

