අරගලකරුවන්ට හමුවුණේ මගේ සල්ලි

කොළඹ කොටුව ජනාධිපති මැදුරෙන් හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත් ඒවා බව ඔහු පිළිගෙන තිබෙනවා.
එම මුදල් තමාට අයත් ඒවා බව පිළිගත් හිටපු ජනාධිපතිවරයා එම මුදල් තමා වෙත නැවත ලබා දෙන ලෙස නීතිඥයන් මාර්ගයෙන් ඉල්ලා සිටියත් කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ එම ඉල්ලීම ප්රතික්ශේප කළා.
අදාල ඉල්ලීම ප්රතික්ෂේප කරමින් සැකකාර හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන්ට මහේස්ත්රාත්වරයා පැවසුවේ, එම මුදල් හිටපු ජනාධිපතිවරයාට ලැබුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙන් ම අල්ලස් පනත යටතේ හෝ මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු ජනාධිපතිවරයා වරදක් සිදු කොට තිබේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවයි.
අරගලකරුවන් විසින් කොළඹ ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලිසියට භාරදුන් රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහස තමාගේ බවත් , එම මුදල් රටේ අසරණ ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබූ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් ප්රකාශය අනුව අනාවරණය කර ඇතැයි , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතාට පෙන්වා දුන්නේය.
එම මුදල් හිටපු ජනාධිපතිවරයා වෙත නැවත භාර දීමට නියෝග කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිගුප්ත සේනාධීර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඊට විරෝධය පළ කළේය.
ඔහු පෙන්වා දුන්නේ අදාළ මුදල් හිටපු ජනාධිපතිවරයා උපයා ගත් ආකාරය හෝ ඒවා ඔහුට ලැබුණු ආකාරය ඔහු ලබා දුන් ප්රකාශ අනුව අනාවරණය කර නොමැති අතර ඒ පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ හෝ අල්ලස් පනත යටතේ විමර්ශනයක් ද සිදු කර නොමැති බවය.

