ඉන්දු – ඕස්ට්‍රේලියානු භූ තලයේ බිඳී යාම බුත්තල භූ කම්පනවලට හේතුව

ඉන්දු – ඕස්ට්‍රේලියානු භූ තලයේ බිඳී යාම බුත්තල භූ කම්පනවලට හේතුව

බුත්තල ප්‍රදේශයට දැනුණු භූ කම්පනයට හේතුව ඉන්දු – ඔස්ට්‍රෙලියානු භූ තලයේ බිඳී යාමක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

ඉන්දු ඔස්ට්‍රෙලියානු තලයේ හරි මැදින් සිදු වන මෙම බිඳී යාම දැනට වසර 15 – 20 පමණ කාලයක සිට වේගවත්ව සිදු වෙමින් පවතින බවත් ඒ හේතුවෙන් එම බිඳී යාමට ආසන්නයේ ම පවතින රට ලෙස ශ්‍රී ලංකාව මෙවැනි සුළු භූ කම්පන තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාවක් පවතින බවයි ඔහු පවසන්නේ.

එසේ ම මෙම සුළු භූ කම්පනය සම්බන්ධයෙන් ජනතාව එතරම් බිය විය නො යුතු බවත් ශ්‍රී ලංකාවට සැතපුම් 1000ක පමණ දුරින් සිදුවන මෙම තල බිඳී යාම හේතුවෙන් රිච්ටර් මාපකයේ මීට වැඩි භූ කම්පන තත්ත්වයන් ඉදිරියේ දී ඇති විය හැකි බවත් මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

ඊයේ (10) වැල්ලවාය – බුත්තල – පැලවත්ත යන ප්‍රදේශයන්හි දහවල් කාලයේ දී රික්ටර් මාපකයේ ඒකක 3කට ආසන්න සුළු භූ කම්පන තත්ත්වයන් වාර්තා වූ අතර අද (11) අලුයම 3.48 ට පමණ රික්ටර් පරිමාණයේ ඒකක 2.3ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් වාර්තා වුණා.

මේ අතර වැල්ලවාය – බුත්තල නගරය ආශ්‍රිතව අද අලුයම තවත් සුළු භූ චලනයක් වාර්තාවී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එය රික්ටර් පරිමාණයේ ඒකක 2.3 ක අගයක් ලෙස සටහන් වූ බවයි.

අද (11) අලුයම 3.48 ට පමණ මෙම භූ චලනය දිවයිනේ සියලු භූ කම්පන මාන පිහිටි මධ්‍යස්ථානවල සටහන්වී තිබුණා.

මෙම භූ කම්පන සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැනීම් කර්යාංශය පවසා සිටියේ ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවයි.