T20 කාන්තා ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කෙල්ලෝ වැඩ පෙන්වයි

පන්දුවාර 20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ඊයේ (12) පැවති සිය දෙවැනි තරඟයෙන් ද කඩුලු 07ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
බංග්ලාදේශය සමඟින් සත්කාරක දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් ක්‍රීඩාංගණයේ දී පැවති තරඟයේ දී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 126ක්.
බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් වූයේ Sobhana Mostary සහ කණ්ඩායම් නායිකා Nigar Sultana පමණි.
ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 29ක් සහ 28ක් ලබාගත්තා.
කණ්ඩායමේ තවත් එක් ක්‍රීඩිකාවකට හැර සෙසු කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 20 සීමාව පසු කර යන්නට ශ්‍රී ලංකා කාන්තා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕෂධී රණසිංහ වැඩිම කඩුලුලාභියා වූයේ ලකුණු 23කට කඩුලු 03ක් බිඳ දමමින්.
නායක චමරි අතපත්තු ලකුණු 19කට කඩුලු 02ක් සහ ඉනෝකා රණවීර එක් කඩුල්ලක් බිඳ දැමුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී පන්දුවාර 18කුත් පන්දු 02ක් අවසානයේ දී සිය ජයග්‍රහණයේ සීමාව පසුකර ගියා.
එහිදී හර්ෂිතා සමරවික්‍රම සිය තුන්වැනි අර්ධ ශතකය ලබාගැනීමට සමත් වූයේ පන්දු 50ක් පමණක් වැය කරමින්.
ඇය නොදැවී ලකුණු 69ක් ලබා ගත්තා.
හර්ෂිතාගේ ලකුණු සටහන ඉදිරියෙන් එක් හයේ පහරක් සහ හතරේ පහර 08ක් ලියැවී තිබුණා.
නිලක්ෂි ද සිල්වා ලකුණු 41ක් ලබා ගත්තා.
මෙම තරඟ ජයත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20-20 ලෝක කුසලානයේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවනවා.
ඒ පැවති තරඟ දෙකම ජය ගනිමින්.
තවත් එක් තරඟයක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය ගතහොත් ඔවුන් මෙවර 20-20 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබනවා.
ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට පසුපසින් සිටින්නේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාවයි.

