සභාපතිගේ විරෝධය මැද 66%කින් විදුලි බිල වැඩි කිරීමට කොමිසමේ 3කගේ අනුමැතිය

සභාපතිගේ විරෝධය මැද 66%කින් විදුලි බිල වැඩි කිරීමට කොමිසමේ 3කගේ අනුමැතිය

තම විරෝධය මැද 66% ක විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් තුන් දෙනා අනුමැතිය දුන් බව එහි සභාපති ජනක රත්නායක පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, එමගින් වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර වැය බරක් විදුලි පාරිභෝගිකයා වෙත පැටවෙන බවයි.

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව විදුලි බල පනතේ හා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව සමාලෝචනය කළ අතර එහිදී කොමිෂන් සභාවේ ගාස්තු ක්‍රමයට අනුමැතිය දීමට තමා හැර එහි සෙසු සමාජිකයින් වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර හා එස්.ජී.සේනාරත්න යන මහත්ම මහත්මීන් විරෝධය පල කළ බව ද ජනක රත්නායක නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඔවුන් ඒ වෙනුවට ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ අධික ගාස්තු ක්‍රමයට අනුමැතිය පල කර ඇත.

කොමිෂන් සභාව විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනා කළේ 36% කිනි.

එමගින් විදුලි බල මණ්ඩලයේ අමතර ආදායම රුපියල් බිලියන 142 ක සාධාරණ මට්ටමක් දක්වා පහත හෙළීමට යෝජනා කර තිබිණි.

කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවෙන් ගෘහස්ථ අංශයේ ඒකක 90 ට අඩුවෙන් පරිභෝජනය කරන කණ්ඩායමට සියයට 250 ක ගාස්තු වැඩි කිරීමක් සිදුවන බව ද ජනක රත්නායක මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

එමගින් ඔහු පෙන්වා දෙන්නේ අද (15) සිට ක්‍රියාත්මක අනුමත කළ ගාස්තු ක්‍රමය නීතිවිරෝධි බවයි.

එය ක්‍රියාත්මක කිරීමෙන් මහජනතාව දැඩි පීඩනයකට ලක් වන අතර සමස්ත ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වන බව ද ජනක රත්නායක සඳහන් කළේ ය.