පුංචි ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

පුංචි ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

මුදල් නොමැතිවීම හේතුවෙන් පළාත්පාලන ඡන්ද විමසීම පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් මතුවී ඇති බවට මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ලබන සතිය තුළ මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බව දැනුම් දෙන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගිය 10 වනදා ප්‍රතිඥාවක් ලබා දී තිබුණා.

ඒ පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් එදින කැඳවූ අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් එම ප්‍රතිඥාවට අනුව කටයුතු කිරීමට මේ වනවිටත් මුදල් ලැබී නොමැතිවීම හේතුවෙන් මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව දැනුම් දෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පළාත්පාලන ඡන්ද විමසීමට නාමයෝජනා භාරදුන් 2,000 කට වැඩි පිරිසකට තවමත් රජයෙන් වැටුප්, ඉන්ධන දීමනා සහ වාහන ලබාගන්නා බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ සාධාරණ සාමකාමී ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා මෙය දැඩි ලෙස බලපාන බවයි.

මීට අමතරව මැතිවරණ කාලසීමාවක් තුළ රාජ්‍ය දේපළ භාවිත කිරීම නීත්‍යානුකූල නොවන කරුණක් බවද මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙනවා.

මේ අතර මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ, 2023 මාර්තු 19 වැනි දිනට පෙර පැවැත්වීමට නීතියෙන් නියම කර ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩාකප්පල් කිරීමට රාජ්‍ය බලධාරීන් විසින් මෑතදී ගත් උත්සාහයන් පිළිබඳව තමන් දැඩි කණස්සල්ල පළ කරන බවයි.

සියලුම මැතිවරණ ඉතා වැදගත් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.