ගුරු මාරු 12,500ක් අහෝසියි

ගුරු මාරු 12,500ක් අහෝසියි

අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරුවා හරින ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ නියෝගය හේතුවෙන් ගුරුවරුන් 12,500කගේ පමණ සියලු මාරු වීම් අහෝසි වී යන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසීය.

ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මෙම ගුරුවරුන්ගේ මාරු වීම් අවලංගු කිරීමට කරුණු කිහිපයක් බලපෑ බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන්ගේ විභාග අධ්‍යයන කටයුතුවලට සහ පසුගිය සමයේ විවිධ හේතු නිසා පොදුවේ සමස්ත පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ බාධා ඇතිවූ බැවින් මේ මොහොතේ ගුරු මාරු පදනම් කර ගෙන පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ ගැටලුවක් මතු වීම වැළැක්වීමට ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇතැයි ද, ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසීය.

ආර්ථික අර්බුදය සමග මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සහ වියදම් අධික වීම බදු සහ කුලී නිවාස ප්‍රශ්න ඇතුළුව මානුෂීය කාරණා රැසක් පදනම් කරගෙන ගුරු මාරු තාවකාලික පදනමින් හෝ කල් දමා සහනයක් ලබා දෙන ලෙසට ගුරු සේවයේ නියුතු බොහෝ දෙනෙකු ලිපි මගින් දුක්ගැනවිලි ජනාධිපතිවරයා වෙත යොමු කර තිබූ බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබා සිටි ගුරුවරුන් පිරිසක් ද මෙවර ගුරු මාරුවීම් සඳහා නිර්දේශව තිබූ බව ත් ඔවුන් අතරින් පිරිසක් සිය ස්ථාන මාරු වීම් දේශපාලන පළිගැනීම් ලෙස හුවාදැක්වීමේ සූදානමක පසුවූ බව ත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසීය.

COMMENTS