බිග් මැච් සඳහා පාසලින් නිසි වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි

බිග් මැච් සඳහා පාසලින් නිසි වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි

පාසල් මගින් මහා ක්‍රිකට් තරග සංවිධානය කිරීමේදී අදාළ පාසල්වල විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩල, ආදි ශිෂ්‍යයින් සහ දෙමව්පියන් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

කළුතර ජාතික පාසල සහ කළුතර තිස්ස ජාතික පාසල අතර පෙරේදා (අප්‍රේල් 30) පැවති ‘මැංගුස් සටන’ එක් දින ක්‍රිකට් තරගයේදී ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

එහිදී ඔහු සඳහන් කළේ, එම අවස්ථාවේදී විශේෂ රාජකාරී සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් එම සිදුවීම ගැටුමක් ඇති නොවන ආකාරයට පාලනය කර ඇති බව ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට වාර්තා නොවූ නමුත් අද (මැයි 2) උදෑසන පාසල් සිසුවෙකුගේ මවක තම දරුවාට පාසල් සිසුන් පිරිසක් විසින් පහර දීමක් සිදු කරනු ලැබ ඇති බවට පයාගල පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි තල්දූව මහතා පැවසීය.

එම පහර දීමෙන් තුවාල ලැබූ දරුවා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, මෙලෙස පැමිණිල්ලක් ලැබීමත් සමග සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ය.

අදාළ සිදුවීමේදී පයාගල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා පහර කෑමට ලක්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සත්‍ය නොවන බව ද තල්දූව මහතා පැවසීය.

COMMENTS