කළුතර16 හැවිරිදි දැරියකගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අල්ලයි

කළුතරදී 16 හැවිරිදි දැරියකගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
29 හැවිරිදි ඔහු මීට සුළු මොහොතකට පෙර ගාල්ලේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පිරිසක් හික්කඩුව ප්‍රදේශයේ දී වැටලීම කර තිබෙනවා.
ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන අතර, කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව වාර්තා වනවා
මියගිය පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනකු සහ තරුණියක් සමඟයි ප්‍රදේශයේ හෝටලයකට පසුගිය 06 වනදා පස්වරු 6.30ට පමණ පැමිණ ඇත්තේ.
පසුව ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර අදාළ හෝටලයෙන් කාමර දෙකක් වෙන්කරගෙන තිබෙනවා. එලෙස කාමර දෙකක් වෙන්කරගෙන ඒ වෙත ගමන් කළද සිව්දෙනාම එක් කාමරයක සිට මත්පැන් පානය කරන බව හෝටල් සේවකයෙකු දැක ඇති බවයි වාර්තා වන්නේ.
පසුව අදාළ පිරිසෙන් එක් තරුණියක් සහ තරුණයෙක් හෝටලයෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඉන් මිනිත්තු 20කට පමණ පසු අනෙක් තරුණයාත් කලබලයෙන් මෙන් හෝටලයෙන් පිටතට යන අයුරු සේවකයන් දැක ඇති බව සඳහන්.
අනතුරුව අදාළ හෝටලයට ආහාර ලබාගැනීමට පැමිණි අයෙකු හෝටලයට යාබඳ දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින බවට හෝටල් කාර්ය මණ්ඩලයට පවසා තිබුණු අතර ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී අනාවරණ වී ඇත්තේ ඒ වන විටත් අදාළ තරුණිය මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක්.
පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ සිසුවියට හෝටලයට පිවිසීමට වයස බාධාවක් වන බැවින් වෙනත් අයකුගේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඊට පිවිස ඇති බවයි.
එක්වරම කලබලයෙන් හෝටල් කාමරයෙන් පිටව ගිය තරුණයා එතැනින් ඉවත්ව ගොස් ඇත්තේ ඊට පෙර හෝටලයෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට ඇමතුමක් දී හදිසියක් බව පවසා ඔවුන් කැඳවාගැනීමෙන් පසුවයි.
මිය ගොස් සිටින තරුණිය තුන්වැනි මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්නේ යැයි ප්‍රකාශ කළ ඔහු අනතුරුව මෝටර් රථයකින් පළාගොස් ඇති බව වාර්තා වුනා.
පසුව සෙසු තරුණයා සහ තරුණිය දුම්රිය මාර්ගය මත වැටි සිටි තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවත්කර එම ස්ථානයෙන් පිටව ගොස් රාත්‍රි 9.30ට පමණ පොලීසියට භාර වී තිබෙනවා.
මේ අතර සිසුවියව හෝටලය වෙත රැගෙන ආ මෝටර් රථයේ රියදුරු ව ද පොලීසිය විසින් ඊයේ (08) දින අත්අඩංගුවට ගැනුණි.
පසුව එම සැකකරුවන් තිදෙනාම මැයි මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගෙන ඇති අයෙකු වන බව පොලීසිය පවසනවා.

