බුදු හිමිට කළ අපහාසයට දේවගැති ජෙරොම්ට එරෙහිව පරීක්ෂණයක්

බුදු හිමිට කළ අපහාසයට දේවගැති ජෙරොම්ට එරෙහිව පරීක්ෂණයක්

ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබේ.

වගකීම් විරහිත හිතළු ප්‍රකාශ නිසා ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බැවින් අදාළ දේවගැතිවරයා කළ ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කොට තමාට වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත ඉහත නියෝගය ලබා දෙමින් ජනාධිපතිවරයා ඉහත කරුණු සඳහන් කර ඇත.

දේවගැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳ ජනාධිපතිවරයා දුන් නියෝග පරිදි වහා පරීක්ෂණයක් අරඹන ලෙස සාගල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ජෙරොම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයකු බුදුන් වහන්සේට අපහාසයක් වන ප්‍රකාශයක් කළැයි මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉහත නියෝගය නිකුත් කළේය.