අනුර ඇතුළු 26කට උසාවියෙන් නියෝගයක්

අනුර ඇතුළු 26කට උසාවියෙන් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද (08) සංවිධාන කර ඇති විරෝධතාවට අදාළව, මාර්ග කිහිපයක පමණක් උද්ඝෝෂණ කිරීම වලක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට එරෙහිවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටින් අද (08) පස්වරුවේ මෙම විරෝධතාව ආරම්භ කිරීමට නියමිතයි.

අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 – 01 වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ සාමාජිකයන් වන විජිත හේරත්, කේ.ඩී. ලාල් කාන්ත, ටිල්වින් සිල්වා, සුනිල් හදුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ ඇතුළු 26කට එරෙහිවයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ කාර්යාලයේ ප්‍රවේශ මාර්ගයන්හි උද්ඝෝෂණය කිරීම තහනම් කරමින් මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

වගඋත්තකරුවන් ලෙස නම් කර ඇති පාර්ශ්වයන් සිදු කිරීමට නියමිත උද්ඝෝෂණය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල් සඳහා අවහිරයක් මෙන්ම මහජන පීඩාවක් සිදුවන බවට සඳහන් කරමින් වැලිකඩ පොලිසිය මෙම ඉල්ලීම අධිකරණයෙන් කර තිබුණා.

COMMENTS