වරාය නගරයට චීනයෙන් ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක්

කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක් ආයෝජනය කිරීමට සුදානමින් සිටින බව චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් සමාගම පවසයි.
එම සමාගමේ සභාපති Bai Yinzhan සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අතර පැවති හමුවකදී ඒ බව පවසා තිබේ.
එම හමුව චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ බෙයිජිං නුවර පිහිටි ප්‍රධාන කාර්යාලයේදී සිදුවූ බව සබ්රි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

මේ අතර විදේශ කටයුතු ඇමැති අලි සබ්රි චීන එක්සිම් බැංකුවේ සභාපති වූ ෆුලින් මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් හමු වී සාකච්ඡා කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා පවසයි.
එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රකෘතිය සහ වර්ධනයට චීනය සහාය දෙන බවට එරට එක්සිම් බැංකුවේ සභාපති වූ ෆුලින් මහතා සහතික වූ බව ද විදේශ ඇමැතිවරයා පවසයි.
මෙම සාකච්ඡා සඳහා විදේශ කටයුතු ඇමැතිවරයා සමඟ චීනයේ ශ්‍රී ලංකා තානාපති, ආචාර්ය පාලිත කොහොන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් පෝෂිත පෙරේරා, ඇමැති අලී සබ්රි මහතාගේ පෞද්ගලික ලේකම් ෆයාඩ් බාකීර් මහත්වරු ද එක්ව සිටිති.

