10කට මරු කැඳවූ මනම්පිටිය කොටලීය බිහිසුණු බස් අනතුර

10කට මරු කැඳවූ මනම්පිටිය කොටලීය බිහිසුණු බස් අනතුර

පෞද්ගලික බස් රථයක් ඊයේ රාත්‍රියේ පොළොන්නරුව මනම්පිටිය කොටලීය පාලමේ ගැටී ඔයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකුට දිවි අහිමි වුණි.

එමෙන්ම එහි සිටි තවත් පුද්ගලයින් 41 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසන්නේ අනතුරට පත් බස් රථයට සිය සභාවේ අවසර පත්‍රයක් නොමැති බවය.

එසේම පොලිසිය පවසන්නේ අධික වේගයත්, බස් රියදුරුගේ නොසැලිකිලිමත් රිය ධාවනයත් අනතුරට හේතු වන්නට ඇති බවය.

මෙම බිහිසුණු අනතුරින් පුද්ගලයින් එකොළොස් දෙනෙකුට දිවි අහිමිවුණි.

මියගොස් තිබුණේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 9 දෙනෙක් සහ වයස අවුරුදු එකොළහාමාරක දැරියකි.

ඒ අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණවේදය විෂය හැදෑරූ සිසුන් දෙදෙනෙක්ද වෙයි.

ඉන් එක් අයකු වන 23 හැවිරිදි සමිත දිල්ශාන් පදිංචිව සිටියේ දුම්මලසූරිය ප්‍රදේශයේය.

ඔහුගේ මිතුරෙක් වන ආනමඩුවේ පදිංචි 23 හැවිරිදි දමිත් සාගර අත්තපත්තුටද මෙම අනතුරින් දිවි අහිමි වුණි.

ඔවුන් දෙදෙනාම සිය නිවෙස්වල සිට නැගෙනහිර විශ්වවිද්‍යාලයට පිටත්ව යන අතරතුරයි මෙම අනතුරට ලක්ව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 50 ක් හෝ 60 ක් පමණ සිටින්නට ඇති බවට විශ්වාසය පළ කරන අතර ඒ අනුව කොටලීය ඔයේ ගිලී අතුරුදහන් වූවන් සිටිනම් ඔවුන් සොයා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් මෙහෙයුම් ආරම්භ කර තිබුණි.