10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදක්වයි

10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදක්වයි

දකුණු කොරියාවේ පැවැත්වෙන 25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අද (ජූලි 28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

එමෙන් ම, 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.

25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය 2023 අගෝස්තු මස 1 වන දා සිට 12 වන දා දක්වා දකුණු කොරියාවේ Saemangeumහිදී ලොව පුරා බාලදක්ෂ බාලදක්ෂිකාවන් 50,000කගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂ බාලදක්ෂිකාවන් හා නායක නායිකාවන් 177 දෙනෙකු පමණ ඊට එක්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට මෙහිදී සිය සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ, 2048 වන විට ශ්‍රී ලංකාව ද දකුණු කොරියාව වැනි දියුණු රටක් බවට පත් කිරීම රජයේ අරමුණ බව ත් මෙම සංචාරයේදී ලබන අත්දැකීම් රටේ අනාගතය වෙනුවෙන් ද දායක කර ගැනීමට සියලු දෙනා ක්‍රියා කළයුතු බව ත් ය.

ආත්ම විශ්වාසයෙන් යුතු සහ අභියෝගවලට මුහුණ දිය හැකි ශක්තිමත් අනාගත පරපුරක් ගොඩනැගීමට බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලැබෙන දායකත්වය අගය කළ ජනාධිපතිවරයා එම පුහුණුව රටේ අනාගතය වෙනුවෙන් ඵලදායීව යොදාගන්නා ලෙස ද බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගෙන් ඉල්ලා සිටියේ ය.