ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ කඳුවුරු බැදීම තහනම් කෙරේ

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ කඳුවුරු බැදීම තහනම් කෙරේ

අවසරයකින් තොරව ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ කඳුවුරු බැදීමට ඉඩ ලබා නොදෙන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, වන සංරක්ෂණ සහ වනජීවී නිලධාරීන්ට අද උපදෙස් ලබා දී තිබෙනවා.

තළවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබී නාදුනන කාන්තා මළ සිරුරක් ඊයේ (01) සොයාගැනීමත් සමඟයි දිස්ත්‍රික් ලේකම්වරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

අදාළ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කරන ලෙස නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත් ජේ. අඹගහවත්ත ළිඳුල පොලිසිය වෙත නියෝග කර තිබෙනවා.

කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සමඟ අදාළ කාන්තාව කඳු මුදුනට පැමිණ ඇති බවත් යම් හේතුවකින් ඇය ජීවිතක්ෂයට පත් වූ පසු ඔවුන් පළාගොස් ඇති බවටත් පොලිසිය සඳහන් කළා.

මේ අතර ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබූ මෙම කාන්තා මළ සිරුර රැගෙන ඒමට ගිය යුදහමුදා කෝප්‍රල්වරයෙකුද හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.