නුවරඑළියේ කඳු නැගීම සඳහා අවසර ලබා ගැනීම අනිවාර්ය කෙරේ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වනජිවි සහ වන සංරක්ෂණ රක්ෂිතවලට මින් ඉදිරියට අවසර නොමැතිව ඇතුළුවීම, තහනම් කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ පවසනවා.
ඔහු කියා සිටියේ කඳු තරණය සහ කඳවුරු බැඳීම ඊයේ (04) සිට තහනම් කළ බවයි.
තලවකැලේ ග්‍රේට් වෙස්ටන් කදු මුදුණේ තිබී කාන්තා මළ සිරුරක් හමුවීමෙන් පසු වනජිවී නිලධාරින්, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් සහ පොලිස් නිලධාරින් සමග ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ අනුව ඉදිරියේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ඕනෑම කන්දක් තරණය කිරීමට අවශ්‍ය නම් එම ප්‍රදේශවල පිහිටි රාජ්‍ය ආයතනවලින් අනුමැතිය ලබාගත යුතුයි.
පසුව එම අනුමැතිය ළඟම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ යුතු වනවා.
මෙම ක්‍රමවේදය ආරම්භක අවස්ථාවේදී සාමාන්‍ය පරිදි ක්‍රියාවට නංවන බවත්, ඉදිරියේදි දුරකථන යෙදවුමක් භාවිතා කරමින් අවශ්‍ය අවසරයන් ලබා ගැනීමට කටයුතු කරන බවත්, දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ සඳහන් කර සිටිනවා.

