සමනල වැවෙන් ජලය ලබාගන්න අමාත්‍ය මණ්ඩලයට අද යළිත් පත්‍රිකාවක්

සමනල වැවෙන් ජලය ලබාගන්න අමාත්‍ය මණ්ඩලයට අද යළිත් පත්‍රිකාවක්

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද (07) යළිත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතය.

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ උඩවලව ජලාශයේ ජලය සීදීයාමත් සමඟ වලව කලාපයේ ගොවියෝ සිය වගා කටයුතු කිරීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පා සිටිති.

ඊට විසඳුමක් ලෙස සමනල වැව ජලාශයෙන් ජලය ලබාගැනීම කෙරෙහි අවදානය යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගත්තේය.

කෙසේවෙතත් එහිදී මෙම යෝජනාවට පක්ෂව සහ විපක්ෂව කරුණු ඉදිරිපත් වී ඇති අතර අදාළ යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති බවද සඳහන්ය.

සමනල වැව ජලාශයෙන් ජලය ලබාදීමට ඇතැම් පාර්ශව සෘජුවම අකමැත්ත පළ කර ඇති බවද වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ යළිත් වරක් සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද දිනයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිතව තිබේ.

COMMENTS