පාස්කු ප්‍රහාරය ගැන චැනල් 4 නාලිකාව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, චැනල් 4 නාලිකාව සිදු කරන ලද පදනම් විරහිත, ද්වේෂසහගත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්රකාශයන්ගෙන් පැන නගින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාක සඳහා ඔවුන් නිසැකවම වගකිව යුතු බවය.
ආරක්ෂක අමාත්‍යාංශය ඕනෑම පුද්ලයෙකුගේ හෝ ආයතනයක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන අතර ගවේෂණාත්මක මාධ්‍යවේදී කාර්යයේ වැදගත්කම තහවුරු කරන බව ද එමගින් අවධාරණය කර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම හමුදා බුද්ධි අංශයට සහ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ වෙත පැවරීම ආරක්ෂක අමාත්‍යාංශයේ දැඩි අවධානයට යොමුව ඇත.
ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් අමාත්‍යාංශය පවසන්නේ, පාස්කු ප්‍රහාරය මෙහෙයවීම සහ බෝම්බකරුවන්ට සහය වීම යන චෝදනාව වසර 36ක් පුරා රට වෙනුවෙන් සේවයට කැපවූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව සිදු කිරීම තරයේ හෙළා දකින බවයි.
මේජර් ජෙනරල් සුරේෂ් සලේ 2016 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය-උපදේශකවරයා ලෙස සේවය කළේ ය.
ඔහු 2019 ජනවාරි 3 වන දින ඉන්දියාව බලා පිටත්ව ගොස් දිල්ලිහි ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලාව අවසන් කර 2019 නොවැම්බර් 30 දින නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව එහි සඳහන් ය.
චැනල් 4 නාලිකා වාර්තාවේ සඳහන් කාල සීමාව තුළ මෙම නිලධාරියා කිසි දිනෙක ශ්‍රී ලංකාවේ නොසිටි බව ආරක්ෂක ආමාත්‍යාංශය පවසයි.
තව ද එම කාල සීමාව තුළ මෙම නිලධාරියා මෙරට බුද්ධි හා ආරක්ෂක අංශවල සේවය නොකළ අතර එම ක්ෂේත්රවල නිලතල හා වගකීම් දරා නොමැති බව සඳහන් වේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ කිසිදු ත්‍රස්තවාදියෙකු රජයේ වැටුප් ලේඛනයේ නොසිටි බව ද ආරක්ෂක අමාත්‍යාංශය යළි අවධාරණය කර ඇත.
එබැවින්, මෙම සාහසික චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එවැනි ද්වේෂසහගත සහ තහවුරු නොකළ ආඛ්‍යානයක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව වෙත සිය බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, බලයට පත් ශ්‍රී ලංකා රජයන් සත්‍යය හෙළිදරව් කිරීම සඳහා නොසැලෙන කැපවීමක් පෙන්නුම් කර ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
දේශීය මෙන්ම ජාත්‍යන්තර වෘත්තීය ආයතන විසින් මේ සබැඳිව පවත්වනු ලබන විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණ සඳහා පහසුකම් සලසා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය සහ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සිදු කරන ලද විස්තීර්ණ විමර්ශනය, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුව ලබා දුන් තීන්දුව මගින් ද දේශීය පරීක්ෂණවල සොයාගැනීම් නැවත තහවුරු වූ බව ද එහි සඳහන්ය.
අමාත්‍යාංශය පැවසුවේ, මෙමගින් ජාත්‍යන්තර විමර්ශන ආයතනයක මෙම ප්‍රබල අනුමැතිය විමර්ශනයේ නිරවද්‍යතාවය සහ අඛණ්ඩතාව තවදුරටත් සනාථ වූ බවයි.
මෙවැනි පැහැදිලි ස්ථාවරයන් නොතකා, චැනල් 4 නාලිකාවේ පටු අරමුණු සහ දුෂ්ට හැසිරීම අසමගියේ බීජ වැපිරීමෙන් ශ්‍රී ලාංකීය සමාජය විනාශ කරනවා පමණක් නොව, තම අවංකභාවය සහ වගකීම අධිෂ්ඨානශීලීව තහවුරු කළ අයගේ කීර්තිය හා ආරක්ෂාව නිර්ලජ්ජිත ලෙස අනතුරේ හෙළන බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විය.

