ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි

ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා.
එහි මෙවර තේමාව ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇත්තේ “ක්‍රියාව තුළින් බලාපොරොත්තුවක් ඇති කිරීම” යන්නයි.
2021 සහ 2022 වසරවලදීත් මෙම තේමාවෙන්ම ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය සැමරීමටයි ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරනු ලැබුවේ.
සෑම සියදිවි නසාගැනීමක්ම බොහෝ දෙනෙකුට ගැඹුරින් බලපාන අතර, දැනට ලොව පුරා වසරකට සියදිවි නසාගැනීම් හත් ලක්ෂයකට වඩා වැඩි බවට ගණන් බලා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
සියදිවි නසාගැනීම් වැළැක්වීම මහජන සෞඛ්‍ය ප්‍රමුඛතාවක් බවත්, සියදිවි නසාගැනීමේ අනුපාතිකය අඩුකිරීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ඒ වෙනුවෙන් ස්ථිර පියවර ගැනීමට ලොව පුරා රටවල් සමඟ හවුල්වීමට එම සංවිධානය තවදුරටත් කටයුතු බවද එම නිවේදනයේ සඳහන්.
මේ අතර ශ්‍රී ලංකාව තුළ සියදිවි නසාගැනීම් බහුල වශයෙන් සිදුවන්නේ ආතතිය හේතුවෙන් බවයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් ප්‍රකාශ කළේ.
එමෙන්ම පසුගිය වසර තුනක කාලයේදී මෙරට සියදිවි නසා ගැනීම් 9,700 ක් පමණ වාර්තා වී ඇති අතර, ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ කාරණා හේතුවෙන් බොහෝ පිරිසක් සියදිවි හානිකර ගැනීමට පෙළඹී ඇති බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල කියා සිටියේ.

