ජනාධිපති සහ පාකිස්ථාන අගමැති අතර නිල හමුවක්

ජනාධිපති සහ පාකිස්ථාන අගමැති අතර නිල හමුවක්

“එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) මහතා අතර නිල හමුව බීජිං නුවර දී අද (17) පස්වරුවේ පවත්වා තිබෙනවා.

ගාසා තීරයේ මතු වී ඇති ගැටලු පිළිබඳව ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට මෙහිදී එකඟතාවයකට එළඹ ඇති බව වාර්තා වෙනවා.

ජාති, ආගම් සහ ජනවර්ග භේද මත එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වර්ධනය නොකෙරෙන මනුෂ්‍යත්වයෙන් පිරි පොදු සමාජයක් නිර්මාණය කිරීම මුළු ලෝකයේම අනාගත අභියෝගය බව නායක දෙපළ මෙහිදී අවධාරණය කර තිබෙනවා.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද සහ එයින් යළි ගොඩ ඒමේ මාර්ග පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව වැඩි දුරටත් වාර්තා වෙනවා.

පාකිස්ථාන මුදල් ඇමතිනි ෂම්ෂාඩ් අක්තාර් (Shamshad Akhtar) මහත්මිය ඇතුළු එරට දූත පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු දූත පිරිස ද,මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.