අස්වැසුමෙන් පණිවිඩයක්

අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හි ප්‍රදර්ශනය කළ නාම ලේඛනයේ නම් ඇතුළත් වූ නමුත්, මෙතෙක් ප්රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම විවෘත කරන ලෙස සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න දැනුම් දෙනවා.
නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් 156,261කට අදාළ ගෙවීම් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ද හෙතෙම සඳහන් කළා.
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය ජූලි මාසයට අදාළ ප්රතිලාභ පියවර 05ක් යටතේ ඔක්තෝබර් මස 16 වනදා වන විට, පවුල් 1,230,097ක් සඳහා රුපියල් 7,705,302,250 ක මුදලක් ගෙවා අවසන් බව වාර්තා වෙනවා.
ජූලි මාසයට අදාළ ඉතිරි කොටස්වල ගෙවීම් දෙසැම්බර් මාසය වන විට ගෙවා අවසන් කිරීමට නියමිත බවත්, ප්‍රතිලාභීන් ලක්ෂ දෙකකට පමණ ගෙවීම් සිදු කිරීමට නොහැකිව ඇත්තේ ඔවුන් බැංකු ගිණුම් විවෘත නොකිරීම නිසා බව සභාපති වැඩිදුරටත් සඳහන් කළා.
අභියාචනා සහ විරෝධතා පරීක්ෂණ අවසන් නොවීම ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් තවත් ප්‍රතිලාභීන් පිරිසකට අදාළ ගෙවීම් කිරීම ප්‍රමාද වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එම ප්‍රමාදයන්ට හේතු වී ඇති කරුණු සොයා බලා ප්රතිලාභ ගෙවීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බවයි.

