ජල ගාස්තුවටත් සූත්‍රයක්

ජල ගාස්තුවටත් සූත්‍රයක්

ජල ගාස්තුව සඳහා සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළා.

ඇමැතිවරයා ප්‍රකාශ කළේ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකු (ADB) සමඟ එක්ව කරන සහයෝගී ප්‍රයත්නයක් ලෙස මෙම පිරිවැය ප්‍රතිසාධන සූත්‍රය හඳුන්වා දෙන බවයි.

ජීවන් තොණ්ඩමන් මහතා මෙම අදහස් පලකළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ජල ගාස්තු සූත්‍රය හඳුන්වාදීමේ අරමුණ සමාජයේ අවදානමට ලක්විය හැකි සමෘද්ධි සහ අස්වසුම වැනි සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන් යටතේ ආවරණය වන ජන කොටස් ආරක්ෂා කරන අතර ජලය සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම බව අමාත්‍යවරයා සඳහන් කළා.

මිලියන 2.96 ක් පමණ වන ජල සම්බන්ධතා අතරින් වතු අංශය යටතේ ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවට අයත් ජල සම්බන්ධතා මෙම මිල සූත්‍ර ක්‍රමවේදය යටතට ගැනීමට සිදු නොවන බව වාර්තා වෙනවා.