තැපැලේ සල්ලිවලට ව්‍යාජ වෙබ් අඩවියක් කළ හදියක්

තැපැලේ සල්ලිවලට ව්‍යාජ වෙබ් අඩවියක් කළ හදියක්

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් සකස් කර, තැපැල් දෙපාර්තමේන්තුවේ මුදල් රුපියල් ලක්ෂ ගණනාවක් වංචා කර ඇති බව වාර්තා වෙනවා.

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර, තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මුදල් වංචා කර ඇති බවට කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මහිල් රම්හාත් මඩවල නමැත්තා විසින් පැමිණිල්ලක් කළ බව වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (25 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඒ අනුව කිරුළපන තැපැල් කාර්යාලයට අයත් රුපියල් දෙලක්ෂ අනූහත් දහසකට අධික මුදලක් හා වැල්ලවත්ත තැපැල් කාර්යාලයට අයත් රුපියල් දෙලක්ෂ විසිපන් දහසකට අධික මුදලක් වංචා කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා තිබුණා.

එමෙන්ම බදුල්ල, වැල්ලවත්ත මූලස්ථාන තැපැල් ඇතුළු තැපැල් කාර්යාල කිහිපයකින් ද මුදල් වංචා කර ඇති බවට ද පැමිණිලි ලැබී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට තොරතුරු වාර්තාවක් මඟින් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙනවා.