සිංහයන්ට අන්ත පරාජයක් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් තීරණයක් ගනී

සිංහයන්ට අන්ත පරාජයක් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් තීරණයක් ගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඊයේ (02) පැවති තරගය ලකුණු 302ක දැවැන්ත ජයක් හිමිකරගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත්විය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පස්දෙනෙකුට ලකුණක් හෝ රැස්කරගැනීමට නොහැකිවීම විශේෂත්වයකි.

පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, දුෂාන් හේමන්ත සහ දුෂ්මන්ත චමීර ලකුණු නොලබාම යළි නරඹන්නන් විය.

කුසල් මෙන්ඩිස් පන්දු 10කට මුහුණ දී ලකුණු 1ක් රැස්කර යළි ක්‍රීඩාගාරයට හැරී ගියේය.

මැතිව්ස් ලකුණු 12ක් රැස්කරගත් අතර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 14ක් රැස්කළ කසුන් රාජිත යි.

මොහොමඩ් ෂමී ලකුණු 18කට කඩුලු 5යි.

ඒ අනුව පන්දුවාර 50 ලෝක කුසලාන තරගවලදී ඉන්දියාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගෙන ඇති පන්දුයවන්නා බවට පත්වීමට මොහොමඩ් ෂමී සමත්විය.

ඔහු තරග 13කදී ලබාගෙන ඇති කඩුලු ගණන 45කි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 55ක් පමණි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 357ක් රැස්කළේය.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබේ.

ඊයේ කණ්ඩායම තේරීම සිදුකළේ කුමන පදනමකින්ද යන්න මෙහිදී විමසන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු පැවසීය.

ධනංජය ද සිල්වා ඊයේ තරගයෙන් ඉවත් කර ඒ වෙනුව දුෂාන් හේමන්ත කැඳවීම ද ගැටලු සහගත බව ඔහු පැවසීය.

මෙම කරුණු පිළිබඳව සහ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳවද කරුණු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.