බිලියන 4ක් වැය කළ ක්‍රීඩා ව්‍යාපෘති ගැන හෙළිදරව්වක්

බිලියන 4ක් වැය කළ ක්‍රීඩා ව්‍යාපෘති ගැන හෙළිදරව්වක්

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 4කට වැඩි මුදලක් වියදම් කර ඇතත්, ඒ සඳහා කිසිඳු ව්‍යාපෘතියක් වෙනුවෙන් ශක්‍යතා අධ්‍යනයක් සිදු කර නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරකසභාව හෙවත් කෝපා කමිටුවේ දී තොරතුරු අනාවරණය කර තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නැවත කෝපා කමිටුව හමුවට කැඳවීම පසුගියදා සිදු වුණා.

2023.09.06 දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට සූදානමකින් තොරව කෝපා කමිටුවට පැමිණීම හේතුවෙන් නැවතත් 2023.10.20 දින කැඳවීමට තීරණය වූ අතර ඒ අනුව මෙසේ නැවත කැඳවීම සිදු කළා.

ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පසුගිය වසරවල විගණකාධිපති වාර්තා කෝපා කමිටුව හමුවේ විමර්ශනයට ලක්කළ අවස්ථාවේදීයි.

මෙහිදී ක්‍රීඩා සංවර්ධන සැලැස්ම පිළිබඳ පැහැදිලි කරන ලෙස කමිටුව ඉල්ලා සිටි අතර, ඒ සම්බන්ධයෙන් වන සැලසුම කමිටුවට ඉදිරිපත් කර තිබෙනවා.

සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පාලනය වන ක්‍රීඩා සංකීර්ණයක් ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බව ද මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පැවසුවා.

ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මුදල් යෙදවීම් සහ ඒ සම්බන්ධයෙන් වන කාර්යසාධනය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළා.

ඒ අනුව රුපියල් බිලියන 04ක් පමණ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති සඳහා වියදම් කර තිබුණ ද මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදු කොට නැති බවද මෙහිදී කමිටුව අනාවරණය කළා.

ක්‍රීඩාව සම්බන්ධයෙන් දත්ත පවත්වාගෙන යෑමට සකස් කළ දත්ත සමීක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වුණා.

ඒ අනුව මෙම දත්ත පද්ධතිය 2016 වර්ෂයේ දී ක්‍රීඩාව සම්බන්ධ දත්ත පවත්වාගෙන යාමේ අරමුණෙන් සකස් කළ බවත්, වර්තමානයේ ද හොඳ ක්‍රියාකාරී මට්ටමක පවතින බව මෙහිදී පැමිණි නිලධාරීන් ප්‍රකාශ කළා.

ඒ අනුව එහි මනා ක්‍රිකාරීත්වයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය කමිටුව පෙන්වා දුන්නා.

එසේම ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩාවේ දියුණුවට සකස් කර ඇති වැඩපිළිවෙල සහ ඉදිරි වසරවල දී පදක්කම් ලබාගැනීමට අපේක්ෂිත ක්‍රීඩා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වුණා.

ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩාවේ දියුණුවට සකස් කර ඇති වැඩපිළිවෙල කමිටුවට ඉදිරිපත් කිරීම සහ ඉදිරි වසරවල දී පදක්කම් ලබාගැනීමට අපේක්ෂිත ක්‍රීඩා සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කළා.