විදුලි බිල වැඩිවීමෙන් වැඩිම සැර දුප්පතුන්ට

විදුලි බිල වැඩිවීමෙන් වැඩිම සැර දුප්පතුන්ට

මාසිකව විදුලිය ඒකක පනහක් පමණ පාවිච්චි කරන රටේ සමස්ත ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් තුනෙන් එකකට ආසන්න පිරිසකගේ විදුලි බිල මෑතක සිදු කෙරුණු සංශෝධන හේතුවෙන් සියයට 412කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව විදුලි ඒකක 50ක් පමණ පාවිච්චි කරන වැඩි පිරිසක් අන්ත දුගී අය වන අතර, විදුලිබිල සංශෝධනය තුළ වැඩිම බලපෑමට ලක්වී ඇත්තේ ආගමික ස්ථානයි.

ආගමික ස්ථාන මසකට විදුලි ඒකක 150 ක් පාවිච්චි කිරීමෙන් විදුලි බිල සියයට 597කින් වැඩිවී ඇති බව වාර්තා වෙනවා.

විදුලි ඒකක සීයක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට 203කින්, ඒකක 150ක් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට 163කින්, විදුලි ඒකක දෙසීයක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට 137කින්, විදුලි ඒකක 250ක් පාවිච්චි කරන අයගේ විදුලි බිල සියයට 150 කින්, විදුලි ඒකක 400 ට වැඩියෙන් පාවිච්චි කරන අයගේ විදුලි බිල සියයට100 කින් වැඩි වී තිබෙනවා.

එසේම විදුලි ඒකක 200ක් පාවිච්චි කළ කුඩා කර්මාන්තවල විදුලි බිල සියයට 143 කින්, ඒකක දෙසීයක් පාවිච්චි කළ වෙළෙඳ ව්‍යාපාරවල විදුලි බිල සියයට 195කින් වැඩි වී තිබෙනවා.

විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ දී විදුලිය විකුණා රුපියල් කෝටි 39800ක ලාභයක් උපයා ඇති අතර, ඉන් රුපියල් කෝටි 9600ක්ම උපයා ගෙන තිබෙන්නේ ගෘහස්ථ අංශයෙන්.

මණ්ඩලය ව්‍යාපාර අංශයෙන් උපයාගෙන ඇති මුදල රුපියල් කෝටි 8100ක් බව වාර්තා වෙනවා.